Powered By Blogger

Sunday, January 30, 2011

''සිංගප්පූරු දරුවා''



දැන් ඊලඟ පොතත්  සිංගප්පූරුව ගැනමයි. කලින් කියපු එක සිංගප්පූරුව ගැන නිසා ඒ පිටම මේකත් ලියන්න හිතුවා ..
මේකෙ නම තමා ''සිංගප්පූරු දරුවා''
ලියල තියෙන්නෙ  '' තාන් කොක් සෙන් '' කියල එක්කෙනෙක්. පරිවර්තනය කරල තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ අපි හැමෝම වගෙ දන්න සුචරිත ගම්ලත් මහත්මයා විසිනුයි.
ඇත්තටම මේකත් චරිතාපදානයක්. සඳහන් කරල තියෙන්නෙ නම්
'' කුලී කරුවෙකුගේ ජීවිත කතාව'' කියලයි.


හැබැයි මේ පොතේ පොඩි විශේෂත්වයක් තියෙනව. මේක බොහොම කුඩා පොතක්. [ ඒ වුනාට මම නම් වැඩිය කැමති ටිකක් ලොකු පොත් වලටයි.]  ඕනම කෙනෙකුට පැය බාගයකින් .. එහෙම නැතිනම් පැයක් ඇතුලත වගේ මේක කියවල ඉවරකරන්න පුලුවන්.


පුංචි පොතක් උනාට කතාව රසවත් විදිහට ගොතා තිබෙනව. සමාවෙන්න ... ගොතපු කියන එක යොදන්න බැරි බව මට අමතක වුනා චරිත කතාවකට. චරිත කතාවක ගොතාපුව නෑ. තියෙන්නෙ සත්‍ය වශයෙන්ම සිදු වූ සිදුවීම්.
මේ කතාවෙන් ඉංග්‍රීසින්ට යටත්ව තිබුන කාලයේ සිංගප්පූරුව පැවති ආකාරය සහ එහි ජන ජීවිතය පිළිබඳ අපූරු චිත්‍රයක් මවා පායි.



කියවල නැති හැමෝම අරගෙන කියවල බලන්න.



Saturday, January 29, 2011

සිංගප්පූරු කතාව

මේ දවස්වල නැවත කියවන පොතයි මේ තියෙන්නෙ. මේකට නම් නවකතාවක් කියලම කියන්න අමාරුයි ... ඇත්තටම මේක චරිත කතාවක් කිව්වොත් වඩාත් නිවැරදියි.
මේ තමා සිංගප්පූරුවෙ ප්‍රසිද්ධම නායකයා වශයෙන් කටයුතු කළ  ''ලී ක්වාන් යූ'' ගේ චරිත කතාව.   
සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ රන්ජිත් ගුණරත්න මහතා විසිනුයි.
[ මේකෙන් අපිටත් ගන්න පුලුවන් ආදර්ශ බොහොමයි. ]
දේශපාලනය හා රටක් ඉදිරියට ගෙන යන්නෙ කොහොමද කියල උනන්දුවෙන් ඉන්න අයටනම් කියාපු පොත.
[මගේ නම් ඉතින් ඔය දේශපාලනය ගැන එතරම් උනන්දුවක් නෑනෙ. ශ්‍රී ලංකාවෙ ඒක කැත සෙල්ලමක් බවට පත්වෙලයි තියෙන්නෙ.]
හැබැයි මම අපේ රට ගැන උනන්දුයි.
අපේ රට දියුණු කරගැනීමට අදාළ ව මේ පොතේ අඩංගු කරුණුවලින් යම් ප්‍රයෝජනයක් වේවි යැයි මම සිතුවා.
ඒත් ඒක එතරම් සාර්ථක වෙන්නෙ නෑ වගෙයි.
සිංගප්පූරුව දියුණු කළ තද පාලන ක්‍රම පිළිබඳව දැන ගැනීමට මට උවමනා කළා.
නමුත් ඒවා ගැන කිසිම සඳහනක් මේ පොතේ නෑ.
[ ලී ක්වාන් යූ පිටතට නොපෙන්නුවාට තද පාලනයක් ගෙන යමින් රට දියුණු කළ බවයි මා අසා තිබුනේ.]
මොකද ශ්‍රී ලංකාවත් එබඳු තද පාලනයකින් තොරව සකස් කළ නොහැකි බව මගෙ පුද්ගලික අදහස වෙනවා. [අපේ රටේ මිනිස්සු / මාත් ඇතුලුව .. වැරදි ක්‍රමයට ඇබ්බැහිවෙලා දැන් කුරුවල් වෙලා ඉන්නෙ.]
තද පාලනයක් කිව්වම අපේ රටේ මිනිස්සු කැමති වෙන්නෙ නැති බව මම දන්නවා. තද පීඩනයකට ලක් වෙන්න මම වුනත් අකමැතියි. ඒ අපි වැරදි විදිහටම කුරුවල් වෙලා ඉන්න නිසා ... අපි කට්ට කාගෙන අවුරුදු 10 ක් වත් හිටියොත් නිවැරදි විදිහට ... අපේ ඊලඟ පරම්පරාව හරි නිවැරදි ව සිතන්නට පුරුදු වෙයි.
අපොයි .. මම මේ  මොනවද ලියන්නෙ... පිට පැන්නා නේද ... පොත ගැන නේ ලියාගෙන ආවෙ.
මේ ගැන මහාචාර්ය  වෝල්ටර් මාරසිංහ  මහතා  මෙසේ කියයි.


හොඳයි කොහොම වුනත් මේ පොත නව කතාවක් වගේත් කියවන්න පුලුවනි.
ඉතින් කැමති හැමෝම කියවලා බලන්න.
පොත ගැන අපේ රටේ ජනාධිපතිතුමා කියන්නෙ මෙහෙමයි.


මේක මං වගේ පුස්තකාලයකින් අරන් බලනවනම් තමයි හොඳ ...  පොත ටිකක් මිළෙන් වැඩියි.

Thursday, January 27, 2011

ලෝකෙ බොහෝ දෙනෙක් ආස කරන පොතක්..



මෙන්න තියෙනවා මම වගේම ලෝකෙ බොහෝ දෙනෙක් ආස කරන පොතක්..
මේක මම බොහෝ වාරයක් කියවපු පොතක්.
කියවල ඉවරවෙල ටිකක් කල් ගිහින් .. ආපසු කියවන්න පුලුවන් අලුත් පොතක් හැටියට. කෙදිනකවත් එපා නොවෙන පොතක්. මං හිතන්නෙ ලෝකෙ පුරාම ගත්තත් එහෙම පොත් තියෙන්නෙ ස්වල්පයයි.
ඒ තමයි ඇලෙක්සැන්දර දියුමා විසින් රචිත…..
 '' මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා'' [ ''The Count of Monte Cristo''] කියන පොත.
මේ පොතේ රසය වැඩි වෙන්න එක හේතුවක් තමයි... මේක පරිවර්තනය කරපු කේ.ජී. කරුණාතිලක මහත්තයා ඉතාම විශිෂ්ඨ අන්දමින් එම කාර්යය ඉටු කොට තිබීම.
මේ කතාවම තව කෙනෙකුත් පරිවර්තනය කරල තියෙනවා මුලු කතාවම එක පොතකට  '' සිටුවර මොන්ත ක්‍රිස්තෝ'' යන නමින්.
 [ඒක නම් මට එච්චරම ඇල්ලුවෙනෑ. ]
එතුමාගෙ පරිවර්තන කෘතිවල මුල් පිටු අතරෙ මම ඉතාම ආස කරන වචනයක් තිබෙනව. ඒ තමයි ''අසංක්ෂිප්ත'' කියන වචනය. ඇත්තටම ඕනම කතාවක් පරිවර්තනයෙදි සංක්ෂිප්ත කරල කෙටි කරනවනම් එහි ගතයුත්තක් නැති බවයි මගේ වැටහීම.
ඒ කාලෙ මේ පොත එතුමා පරිවර්තනය කළේ කොටස් වශයෙන්. ඒ මොකද ... කීවොත් කතාව ඒ තරම් ම දිගයි. ඊලඟ කොටස නිකුත් වෙනකම් අපි හරිම නොයිවසිලිමත්.
සමහරු ලියුම් දානව ... කෝ... මීලඟ කොටස... ඉක්මනට දාන්න.. කියමින්.
තව සමහරු ටෙලිපෝන් කරල අහනව. ඉතින් එතුමට සිද්ධ වුනා ඊලඟ පොතේ ''පෙර වදන'' කොටසෙහි  සඳහන් කරන්න... පිළිවෙලට දානකම් ඉවසාගෙන සිටින ලෙස.
 කියවන්නො අතරෙ මේක ඒ තරම් ජනප්‍රිය වුනා.
අපිට ඒ කාලෙ පොත් ගන්න සල්ලි නෑ. අපි ඉතින් පුස්තකාලයට රබර් ඇහැ දාගෙනයි ඉන්නෙ ඊලඟ පොත පාත් වෙනකම්. එතනත් හරි පොරයක්. පිටපත් දෙකයි එවන්නෙ. සමහරවිට මට පොත ලැබෙන්නෙ පස්වෙනියට හෝ හයවෙනියට.
ඒ අවදියෙ හැමෝම වගෙ කියවීමට ටිකක් නැඹුරුයි. පාසැල් දරුවන් පවා. ඇයි ඉතින් වෙන විනෝදාංශ අඩුයි නේ. පාසැල ඉවරවුන ගමන්ම ඔය උපකාරක පංති වලට දුවන සෙල්ලමත් තිබුනෙ නෑනේ. අපි ඉස්කෝලෙ ඉවරවෙලා ඇවිත් කෑවත් නැතත් .. දෙක විතර වෙනකොට පුස්තකාලෙට එනව. ඒක වහන්නෙ හතරහමාරට. වහනකම්ම මොනව හරි කියවන එක තමා වැඩේ.  
මං හිතන්නෙ ඒ හින්දම තමා පරණ එව්වොන්ට... ගණිත විෂයයන් කළත් විද්‍යා විෂයයන් කළත් ... සාහිත්‍යය කියන එකේ රසය විඳ ගැනීමට තවමත් හැකියාවක් තියෙන්නෙ.
අද ලිපිය දිග වැඩිද මංද ... පොත  ගැන ලියන්න ගිහින් පිටස්තර දේවල්නෙ ලියවුනෙ.

කොහොම වුනත් කමක් නෑ..  මේ කතාව කියවපු නැති අය කියවල බලන්න කියා ඉල්ලා හිටිනවා.. කියවපු අය නැවත කියෙව්වත් ඇති වැරැද්දකුත්  නෑ.
කතාව කොටස් හයකින් යුක්තයි.




                                                                           

Sunday, January 23, 2011

මේක නවකතාවක් නම් නෙවෙයි .....



අද දාන පොත තමා මේක.
 මුලින්ම කියන්න ඕන මේක නවකතාවක් නම් නෙවෙයි.
අපි මීට කලිනුත් ආර්.කේ. නාරායන්ගෙ පොත් ගැන කතා කළා මතක ඇති.
මේකෙ තියෙන්නෙ ඔහු පිළිබඳ විස්තර සමගම ඔහු ලියූ බොහෝ පොත් ගැන විචාරාත්මක විග්‍රහයක්.
''ආර්.කේ. නාරායන් හෙවත් මල්ගුඩියේ සොඳුරු මිනිසා''  යනුවෙනි මෙය නම් කොට ඇත්තේ.
 මෙය පරිවර්තන කෘතියක් ද නොවේ ...  ලියා ඇත්තේ දීපචන්දි අබේසිංහ මහත්මිය විසිනි.
මේ පොත පිළිබඳව එතුමිය මෙසේ කියයි...
''ම විසින් මෙම කෘතිය මුලින්ම සම්පාදනය කරන ලද්දේ ... කොළඹ විශ්ව
විද්‍යාලයේ  දර්ශනපති උපාධිය උදෙසා කළ ස්වාධීන නිබන්ධනයක් හැටියටය.''


මෙහි නාරායන්ගේ චරිතය පිළිබඳ අප නොදන්නා බොහෝ තොරතුරුද .. ඔහුගේ පොත් ගැන බොහෝ වියතුන්ගේ මතවාද ද .. ඉදිරිපත් කොට ඇත්තේය.
ඇත්තටම රූපවාහිනියෙ ගිය ''මල්ගුඩි දවස්'' කතා මාලාවෙහි ද .. ඔහුගේ අනෙකුත්  පොත්පත් වල ද නිතර සඳහන් වෙන මල්ගුඩි නගරය ඉන්දියාවේ ඇත්තම නගරයක් බව මම බොහෝ කලක් යනතුරු සිතා සිටියෙමි.
 [ නාරායන් ඒක ඒ තරමටම සාර්ථකව නිර්මාණය කරල තිබුණා.]
බොහෝ දෙනෙක් මෙම නගරය සොයන්නට උත්සාහ කළාලු. පොත්වල සඳහන් වෙන ආකාරයට ඕනම කෙනෙක් එබඳු නගරයක් තියෙන බවට විශ්වාස කරාවි.
නමුත් දැන් මම දන්නවා ඒක මනඃකල්පිත නගරයක් බව. මේ පොතේ සඳහන් වෙන ආකාරයට එහෙම නගරයක් නෑ.
මේකෙන් පේන එක දෙයක් තමයි කතුවර නාරායන් කොයිතරම් අපූරුවට ස්භාවිකව තම කතා ගොතා තිබුණාද කියන එක.


හොඳ විචාර ග්‍රන්ථයක්...

හැමෝම කියවලා බලන්න.


Sunday, January 16, 2011

''The English Patient''



පහුගිය දවස් ටිකේ කියවපු පොත තමා ...මේක .
 ''The English Patient''
[ ''හෙවත් ආගන්තුක රෝගියා'']
මේ පොත ශ්‍රී ලාංකිකයෙක් ලියපු ලෝකෙම ප්‍රසිද්ධ වුන පොතක් කියලයි කියන්නෙ.
''මයිකල් ඔන්ඩච්චි'' කියන , දැනට කැනඩාවෙ පදිංචි වී සිටින මේ ලේඛකයා ගේ මේ පොතට  1992 දි  බුකර් සම්මානය හිමිව තිබේ.
ඊට අමතරව මෙම පොත ආශ්‍රිතව නිපද වූ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා හිමිවී ඇත.
ඉතින් ... මේ වටිනා ග්‍රන්ථය .. අපේ රටේ කේ.ඒ.එන්. පෙරේරා මහතා විසින්  ''ආගන්තුක රෝගියා '' නමින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙයි.

 
හැබැයි .. මටනම් මේ පොතේ ඔය කියන තරම් අරුමයක් දිස් වුනේ නෑ. කියවලා ඉවර වුනාම.  [ සමහර පරිච්ඡෙද දෙපාරක් විතර කියවලත්]  මටනම් හිතුනේ මේකට මේතරම් සම්මාන දුන්නේ මොන මඟුලකටද කියලයි.

හොඳ පොතක් තමයි. ඒ වුනාට ඔය තරම් දඟලන්ට තරම් දෙයක් ඒකෙ නෑ කියලයි මට හිතෙන්නෙ. සමහර උදවියට නම් මෙහෙම කිව්වම තරහත් යයි.
 මම මේ කිව්වෙ මගේ අදහස මට වැටහෙන විදිහටයි.
කවුරු හරි කෙනෙක් යමක් හොඳයි කිව්වම වැඩිදෙනෙක් අන්ධයො වගේ ඒකම අනුගමනය කරනව වගෙයි .
           


මම දැන් මෙහෙම කිව්ව කියල ඔය ගොල්ලො මේක නොකියව ඉන්න එහෙම එපා
.[මම කීවෙ මගේ අදහසනෙ.]
 හැමෝම කියවල බලන්න.
 කියවල ඉවර වෙල තීරණයකට එන්න.

Saturday, January 8, 2011

අපේ රටේ කිසිම පොත් සාප්පුවකින් මිළ දී ගත නොහැකි පොතක්.....


මට ගිය සතියෙදි හරි අපූරු පොතක් කියවන්න ලැබුණා.
මං හිතන විදිහට .. සිංහල කතා කරන බෞද්ධයින් වශයෙන් අපට මේ පොත බෙහෙවින්ම වැදගත් වේවි.
මෙහි තිබෙන විශේෂම දේ තමා මේ වැදගත් පොත අපේ රටේ කිසිම පොත් සාප්පුවකින් මිළ දී ගත නොහැකි වීම.
පුදුමයක් වගේ පෙනුනත් ඒක ඇත්තක්.
මේ වගේ කාලෙක පින්වතුන් කීප දෙනෙක් එකතු වී කළ මේ සද්කාර්යය අගය කළ යුත්තක්.


මිළ සඳහන් නොකල පොත් ස්වල්පය අතරට එකතුවන මෙය .. ධර්ම දානය උදෙසා නොමිළේ බෙදා හරිනු ලබන්නක්.
මේ උදාර සත් කාර්යය පිළිබඳ මා දැනගත්තේ අපේ කාර්යාලයේම සේවය කරන රංජිත් වික්රමසිංහ මහතාගෙනි.
මේ පොත මට ලබා දුන්නේත් එතුමායි. එතුමාට බොහොම පින්.
ඉතින් මේ පොත ගැන උනන්දුවක් තිබෙන අයට මෙහි සම්පාදකවරයා වන නීතිඥ චන්දන සිරිවර්ධන මහතාගෙන් පිළිබඳව විමසිය හැකිය.

සම්පාදක,
නීතිඥ චන්දන සිරිවර්ධන,
071 3046895.

[ඇත්තටම මම දන්නේ නෑ හරියටම පොත් කොපමණ මුද්රණය කළාද කියලා. පොත් ඉතිරිව තිබේනම් අනිවාර්යයෙන්ම ඔබටත් පිටපතක් ලැබේවි.]