Powered By Blogger

Sunday, March 27, 2011

මේකත් මේ ලෝකෙ දි හැබෑවටම සිද්ධවුන ඇත්ත කතාවක්.



මේ දවස්වල කියවපු පොත තමයි ... මේක. මේකත් මේ ලෝකෙ දි හැබෑවටම සිද්ධවුන ඇත්ත කතාවක්.
මේක සිදුවෙලා තියෙන්නෙත් ඉරානයෙදිමයි. මම කලින් විස්තරයක් ලියපු බෙටී මහමූදි ගෙ කතාව මතකද ..? [දෙවියන්ගේ අඩවිය / පරිවර්තනය අනුල ද සිල්වා]
ඒකත් ඉරානයෙදි වෙච්ච දෙයක්.
කතා දෙක ටිකක් විතර සමානයි කියල කියවන කාට හරි හිතුනත් .. ඇත්තටම ඒ දෙකේ වෙනසක් තියෙනව.
කලින් පොතේ බටහිර රටක ගැහැණියක් විවාහ කරගෙන ඉරානයට එක්කරගෙන ඇවිත් .. ඇගෙ සැමියා විසින් කරනු ලබන වධහිංසා පිළිබඳ විස්තරයක්නේ තියෙන්නෙ.
නමුත් මේකෙ එහෙම නෙවෙයි.. ඉරානයෙම ඉපදුන ඉරාන ජාතික කාන්තාවකට විඳින්නට සිදුවන වධ බන්ධන ගැනයි තියෙන්නෙ.


ඒ තමයි මරීනා නෙමට් විසින් රචිත ‘Prisoner of Tehran’  කියන පොත.

මේක සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ දයා.ඩි. පොන්සේකා මහතා. ප්‍රථම  මුද්‍රණය 2010 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.
 නුගේගොඩ ''සරසවි'' ප්‍රකාශකයො තමයි මුද්‍රණය කරල තියෙන්නෙ.

මේක හුඟක්ම සංවේදී කතාවක්. ඇත්තටම අපට එහෙම හිතෙන්නෙ ඒක සත්‍ය වශයෙන්ම සිදුවුණ කතාවක් නිසා.
අවසානෙදි මේ කාන්තාව .. එනම්  ''මරීනා'' තම ජීවිතය බේරාගන්නෙ මම හිතන විදිහට ඇගෙ සුන්දර භාවයටත් වඩා  තිබුණ වාසනාව නිසයි.

Marina Nemat

කොහොම වුණත් මේ කතාව අපට කීමට ඈ ඉතුරු වුණා.
















කියවපු නැති හැමෝම කියවලා බලන්න.

ISBN  978 – 955 – 671 – 100 – 4
ඉතාම හොඳ පොතක්.

.ලි.
අර මගෙන් ''පාළම යට'' නවකතාව පිළිබඳ විමසූ සොයුරාටයි.
ඔහුට එම පොත ලබා දිය හැකියි .. නමුත් මුදලට නොවේ. මාසයක් තුළ දී කියවා නැවත ආපසු මට බාර දෙන්නේ නම් පමණක්.




Saturday, March 19, 2011

ඉඩෝරය [නවකතාවක් නොවේ.]



ඉඩෝරය කොයි තරම් තදද කියල මං හිතන්නෙ .. ඔයාලට වැටහීමක් නැතුව ඇති.
අපි දන්නෙ මේ දවස්වල කොළඹට තදේට පායනව කියන එකයි ..දවස පුරාම තද උණුසුමක් තියෙනව කියන එකයි විතරනෙ.
සමහර පැතිවලට ඉඳ හිට වහින එක ඇත්ත වුණත් .. ඒක ගෑවෙන්නවත් මදි.
[ පහුගිය කාලෙ වැහැපු හැටියටයි .. ගංවතුර සහ නාය යෑම් තිබුණ විදිහටයි .. මිනිස්සුන්ට වැස්ස එපා වෙලත් ඇති.]
ඉතින් .. මම මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ඒ තරම් තදේට වැහැල .. පිරිල ඉතිරිල ගිය වික්ටෝරියා ජලාශය දැන් තිබෙන තත්වය ගැනයි ..
මෙන්න බලන්න .. හොඳට ජලය පිරී තිබුණ මේ ගඟ වැස්ස නැතුව තිබුණෙ සති දෙක තුනයි... හිඳිල ගිහිල්ල.

දැන් පේනව නේද ඉඩෝරය කියන්නෙ මොකක්ද කියල.
මේ පොටෝ අරගෙන තියෙන්නෙ මම ඊයෙ අම්මව බලන්න නුවර ගිය වෙලාවෙ  ,
තැන්නෙකුඹුර පාළම උඩ සිට සහ ලේවැල්ල පාළම උඩ සිටයි.

ජල මට්ටම කොච්චර අඩුද කියල පේනවනේ.

Sunday, March 13, 2011

ළමයින්ට විතරක් නොවෙයි ..



මම මේ කියන්න යන්නෙ ඉතාම රසවත් විදිහට කතන්දරයක් ඉදිරිපත් කරන්න පුලුවන් කතා කාරයෙක් ගැන.
මම ආසාම කරන සරළ රචනා විලාශයක් තියෙන , ඕනෑම කියවන්නෙකුට දිගටම කියවාගෙන යන්න ඉබේම පෙළඹවෙන  ගතියකින් යුතුව  කතන්දර කීම මෙතුමාගෙ විශේෂයක් වෙනවා.
ඒ තමයි ... අපි කියවන්නො හැටියට .. හැමෝම වාගෙ හඳුනන .. කුලසේන පොන්සේකා මහතා.
අපි හැමෝම දන්න විදිහට .. එතුමා නවකතා , කෙටිකතා , ළමා කතා ,පරිවර්තන .. ආදී වශයෙන් බොහෝ පොත් පත් ලියූ කෙනෙක්.
ඒ අතරින් අද මම කියන්න යන්නෙ ඉතාම හොඳ ළමා නවකතාවක් පිළිබඳවයි.
''රංසිරිගේ සංග්‍රාමය'' කිව්වම හුඟ දෙනෙක් දන්නවා ඇති කියල හිතනවා.


පළමු වරට  1989 දීත් .. දෙවනුව 1994 දීත් තෙවනුව  1998 දීත් මේ පොත මුද්‍රණය කොට තිබෙනවා.
ළමයින්ට විතරක් නොවෙයි .. ඕනෑම තරාතිරමක වැඩිහිටියෙකුට වුණත් කියවා රස විඳින්න පුලුවන් පොතක් තමයි මේක.


ළමා වියෙහිදීම තම දෙමව්පියන් හා සොයුරියගෙන් වෙන්වී නගරයට පැන යාමට සිදුවන රංසිරිට එහිදී නොයෙකුත් කරදර වලට මුහුණ දීමට සිදුවෙයි. අලුත් අත්දැකීම් බොහොමයක් සමග ජීවිතය ජය ගන්නා ඔහු අවසානයේ දී රටට ප්‍රයෝජනවත් මිනිසෙකු බවට පත්වී නැවත තම ගමට පැමිණෙයි.

මේක ඉතාම සාර්ථකව ටෙලි නාට්‍යයකට සකස් කොට ප්‍රදර්ශනය කළා .. මට මතකයි.
විශෙෂයෙන් කියන්න ඕන මේක මගෙ හිතෙත් ඒ කාලෙ තිබුණ සිහිනයක්.  ඒ කියන්නෙ ගෙදරින් පැනල යෑම.  ඒ දවස්වල අපි කොළඹින් දුර බැහැර වාසය කරපු නිසාද කොහෙද .. අපිට නගරය කියන්නෙ අමුතු සුන්දර ලෝකයක්. අඩු ගානෙ අපි එහෙමයි හිතුවෙ. අනික අපි කියවපු පොත්වල .. එතකොට බලපු චිත්‍රපටවල ඒ වගෙ චරිත තමයි වැඩිපුර තිබුණෙ.
ගමෙන් නගරයට පැනවිත් නොයෙකුත් වීර ක්‍රියා කරමින් .. හොඳට විනෝද වෙමින් .. අවසානයේ ලොකු සල්ලිකාරයෙකු වී ගමට පැමිණීම .. මගෙත් ආසාව වුනා.  
[දැන් නම් මතක්වෙනකොටත් හිනා යනව.]
පැනල යාමේ උපක්‍රම පිළිබඳව මාත් මගෙ තව මිතුරන් දෙදෙනෙකුත් අතර සාර්ථක ලෙස සාකච්චා වට කීපයක් පැවැත්වුනත් අවසානයේ වැඩේ ගැස්සිලා ගියා.
අපොයි ... මොනවද මම මේ ලියන්නෙ ...
 පොත ගැන නේ ලියාගෙන ආවෙ. ඉතින් හැමෝටම ගැලපෙන රසවත් පොතක්. ඔන්න පොත් කියවන්න කාලෙ නෑ කියන අයට සුදුසු , පැයකින් විතර කියවල ඉවරකරන්න පුලුවන් පොඩි පොතක්.


කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.
අවශ්‍ය කරන අයට ISBN අංකය පහත දානවා.
මේ ඔබා තිබෙන පිංතූර එතරම් හොඳ නෑ. මගෙ කබල් පෝන් එකේ තියෙන කැමරාවෙන්නෙ ගන්නෙ. අපැහැදිලි නම් පිංතූර මත ක්ලික් කරන්න.

ISBN  955 – 95000 – 0 - 8


Wednesday, March 9, 2011

හමුදාවේ ගිණුමට බැර කිරීම.



පළමුවෙන්ම කියන්න ඕන මම දේශපාලනය ගැන කතා කරන්න තරමක් අකමැති එකෙක් විත්තිය.
ඒ වුණාට මම අපේ මේ රටට ආදරේ ඇති මිනිහෙක්.
නමුත් අපේ රටේ හුඟදෙනෙක් ඉන්නවා මේ රටට නිතරම ගරහන.
මේ අපේ රටේ ඉපදිලා ... මේකෙ තියෙන දෙවල්ම කාලා මෙහිම මූලික අධ්‍යාපනය ලබා ගෙන  [මහජනයාගෙ මුදලින් නොමිළේම]  රටේ හොඳ තැනකට ඇවිත් .. මෙහි තිබෙන හැමදෙයක්ම අව තක්සේරු කිරීම පුරුද්දක් වෙලා.
 [අපේ රටේ මහජන මුදලින් ශිෂ්‍යත්වයක් ලැබ .. විදේශ ගතව ඉගනගත් අයත් මීට ඇතුලත්]
මොකක් හරි පොඩි දේකට ආණ්ඩුව සමග අමනාපයක් ඇති කරගන්නා මොවුන්ට ඉන්පසු හැම දෙයක්ම පේන්නෙ ඇදේටයි. ඔවුන් වටහා නොගන්නා දෙයක් වන්නේ රට කරවන්නේ ආණ්ඩු වුනාට ආණ්ඩුව සහ රට යනු දෙකක් බවයි.
ආණ්ඩු ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකියි. අද මහින්ද මහතා ... හෙට රනිල් මහතා .. නැතහොත් සජිත් මහතා ... තරමක් විශ්වාස කළ නොහැකි දෙයක් වගේ පෙනුනත් සෝමවංශ මහතා වුවද විය හැකියි. එසේත් නැතිනම් මේ සියල්ලෝම එකතුවී ආණ්ඩුවක් බිහිවීමද විය හැකි දෙයක්.
ආණ්ඩු වෙනස් වුනාට රට එසේ වෙනස් නොවේ. එය හැමදාම අපේය. මෙරට හෑල්ලුවට ලක් කිරීමට ... අවමන් කිරීමට පහත්කොට සැළකීමට ඉහත කී පුද්ගලයින් අති දක්ෂයෝය. රට පාවා දෙන්නන් නැතහොත් ජාති භ්‍රෂ්ඨයින් යනුවෙන් හැඳින්වෙන්නෙ මොවුහුය.

මෙතරම් විස්තරයක් ලිව්වේ පහත සඳහන් ලිපිය ඔය ගොල්ලොන්ට දෙන්න ඕන නිසා...

මෙය උපුටා ගනු ලැබුවේ   2011/03/09   දිවයින පුවත් පතෙනි.
කීර්ති වර්ණකුල මහතා බොහෝ කාලයක් තිස්සේ සත්‍ය තොරතුරු මත පදනම්ව , රට වෙනුවෙන් කැප වී පුවත්පතට ලිපි සපයන්නෙකි.

               කියවලා බලන්න.

හමුදාවේ ගිණුමට බැර කිරීමට ගිය
මනුෂ්‍ය ඝාතනයක සුලමුල හෙළි වේ
කළු ජාතිකයන් ඇමරිකාව අත්හැර මධ්‍යම ඇමරිකාවේ පදිංචියට යා යුතුයි.
-
හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1862)
උතුරේ ද්‍රවිඩ ප්‍රතිමා විනාශ කරනවා.
-
විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌
ද්‍රවිඩ නිජබිමේ නිදහසේ හැසිරීම ශ්‍රී ලංකා රජය මර්දනය කරනවා.
-
පැක්‌ස්‌ රොමානි
යුද අපරාධ චෝදනා පිළිගැනීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කරනවා.
-
ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය
ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය සිරකරුවන්ව පණපිටින් උණුදියේ පිළිස්‌සුවා. කැඩුණු බෝතල්වලින් ඔවුන්ට අතවර කළා.
-
ක්‍රෙග් මරේ - හිටපු බ්‍රිතාන්‍ය තානාපති (උස්‌බෙකිස්‌තානය)
ජිනිවා හි මානව හිමිකම් නාටකය දැන් ආරම්භ වී ඇත. විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ නාටකයේ අලුත්ම පිටපත මානව හිමිකම් බලධාරීන් වෙත යොමු කර තිබේ. ඒ ශ්‍රී ලංකා රජයත්, හමුදාවත් උතුරේ ප්‍රතිමා විනාශ කර සංස්‌කෘතික සංහාරයන් ක්‍රියාත්මක කරන බවයි. මේ ප්‍රතිමා කොටි ත්‍රස්‌තයන් වූ කිට්‌ටු - චාල්ස්‌ ඇන්තනී සහ ශංකර් ඇතුළු මරාගෙන මැරුණ කොටි බෝම්බ කරුවන්ගේයි. මේ අතර පැක්‌ස්‌ රොමොනේ නමැති ජාත්‍යන්තර කතෝලික සංවිධානය පවසන්නේ මානව හිමිකම් ආරක්‍ෂනයන්ට තර්ජනය කිරීමේ හා ඝාතනය කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මෙකී පසුබිම මැද ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය වාර්තාවක්‌ යොමු කරමින් ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගන්නේ නැතැයි කියා සිටී.
මේ තත්ත්වය මැද කැනේඩියානු පුරවැසියකු වූ කුහදාස්‌ කුලී ඝාතකයන් දෙදෙනකු ලවා සිය බිරිය වූ ශාන්තිනිව ඝාතනය කර එය යුද හමුදාවේ ක්‍රියාමාර්ගයක්‌ යෑයි පෙන්නුම් කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විණි.

මේ ඝාතනය යුද හමුදාව මත යොමු කිරීමට යුරෝපා සහ නෝර්වේ කොටි වෙබ් අඩවි සැලසුම් කර තිබු බව ද හෙළිවිය.
එහෙත් ආරක්‍ෂක බලධාරීහු කුහදාස්‌ව අත්අඩංගුවට ගැනීමෙන් ඝාතනයේ සුලමුල අනාවරණය විය.
කුහදාස්‌ නමැත්තා වැල්ලවත්තට පැමිණ අංක 253 -3852 දරන සුදු පැහැති ඩොල්පින් රථය කුලියට ගෙන ඇත. ඔහු වව්නියාවට එන අතරේ කුලී ඝාතකයන් දෙදෙනෙකුගේ සහාය ද ලබා ගත්තේය.
මේ කුලී ඝාතකයන් පේසාලේ පිහිටි ශාන්තිනි ගේ මාමාගේ නිවසට පැමිණ ඇයව හා පුත්‍රයාව පැහැර ගෙන යනු ලැබිණි.
මොහොතකින් යාපනයේ කොටි ජාලය විසින් ප්‍රචාරය කළේ සුදු වෑන් රියකින් පැහැර ගැනීමක්‌ කර ඇති බවයි. මේ සමඟම ක්‍රියාත්මක වූ 52 වැනි සේනාංකයේ බුද්ධි නිලධාරීහු ක්‍රියාත්මක වී කුහදාස්‌ව අල්ලා ගත්තේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ශාන්තනීව ඝාතනය කිරිමට චාවාකච්ෙච්රි ප්‍රදේශයට ගෙන ගිය බව හෙළිකර ඇත.
ආරක්‍ෂක හමුදා භට පිරිසක්‌ විසින් පසුව මුහුණට වධ හිංසා පමුණුවා තිබූ ශාන්තිනිගේ මළ සිරුර සොයා ගනු ලැබිණි.
මෙම ඝාතනයට සම්බන්ධ වෑන් රියේ රියෑදුරු රාජා නමැත්තා ද අල්ලා ගැනුණි.
මෙම ඝාතනයන්ට සම්බන්ධ කුලී ඝාතකයන් දෙදෙනා අල්ලා ගැනීම සඳහා උතුරේ ආරක්‍ෂක අංශ හා පොලිසිය දැන් එක්‌ව ක්‍රියා කරගෙන යන බව වාර්තා විය.
මේ අතර කොටි වෙබ් අඩවියක්‌ මේ ඝාතනයට දකුණේ පිරිස කුලියට ලබා ගෙන ඇති බවට ප්‍රචාරය කෙරුණි.
එහෙත් මේ දකුණ යනු කොටින්ගේ පරාදීසයක්‌ව පැවැති වැල්ලවත්තයි.
මෙකී ඝාතනය සිදුවූයේ ජිනිවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේයි. හමුදා බලධාරීහු කුහදාස්‌ව අල්ලා නොගත්තේ නම් ශාන්තනි නමැත්තියව ඝාතනය වීමේ සද්ධිය ජිනිවා වෙත යවනු නියතය.
මෙලෙස මානව හිමිකම් ගැන විවිධ සාවද්‍ය වාර්තා ගොනු කරන මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු යෑපෙන්නේ ද විදේශ අරමුදල් මතය.
මොවුන්ට ඩොලර් ලැබේ. දිවා භෝජනය ගන්නේ කොල්ලුපිටියේ තරු හෝටලයකිනි. රාත්‍රි භෝජනය ගාලු මුවදොර තවත් හෝටලයකිනි. සති අන්තය ගත කරන්නේ දකුණු පළාතේ හෝටලයක පවත්වන වැඩමුළුවක්‌ මගිනි. එසේම නිවාඩුව ගත කිරීමට ඇමරිකාවට, කැනඩාවට, හා ස්‌විට්‌සර්ලන්තයට යැමේ වරප්‍රසාද හිමිවේ.
එහෙත් ඇමරිකාව ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් සිදු කරන වධ හිංසා ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ නැත. මොවුන්ගේ එකම න්‍යායපත්‍රය ශ්‍රී ලංකාවයි. 140000 ක්‌ අතුරුදන් වී ඇති බවට ජිනිවා මානව හිමිකම් සමුළුව වෙත වාර්තා යෑවෙන්නේ මේ න්‍යාය පත්‍රය නිසාය. එසේ වුවත් මානව හිමිකම් ගැන හඬනඟන ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ පසුබිම විමර්ශනයට ලක්‌කළ යුතුය. 2002 ජුනි මාසයේදී ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඩෙරෙක්‌ ඊමන්ස්‌ වන්නියට ගොස්‌ කොටි සමඟ සාකච්ඡා කර ඇත.
එහිදී කොටි අධිකරණයට හා පොලිසියට සහය වන්නැයි කොටි නායකයන් ඉල්ලා තිබේ. ඒ සඳහා ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සහාය දෙන බවට ප්‍රතිඥ දී ඇත. 1988 සහ 1992 අතර සමයේ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රධානි ප්‍රැන්සිස්‌ බොයිල් යුරෝපයේ පැවැති කොටි කණ්‌ඩායමක්‌ වෙනුවෙන් නියෝජනය කර තිබේ.
මේ අතර ජිනිවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේ තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ අනුරාධපුර නොච්චියාගමදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ගමන් ගත් වාහනයට අත්බෝම්බ ප්‍රහාර එල්ල කර වෙඩිතබා ඇතැයි කියන සිද්ධියයි.
මෙහිදී ශ්‍රීධරන්ගේ රැකවලා ප්‍රතිප්‍රහාර එල්ල කළ විට වෙඩි ප්‍රහාර එල්ල කළ බව කියන සන්නද්ධ කණ්‌ඩායම පලා ගොස්‌ තිබේ. ශ්‍රීධරන් අනුරාධපුරයේදී ඝාතනය කිරීමට ගත් උත්සාහයෙන් ගැලවුණ බව දක්‌වමින් මේ සිද්ධිය මොහොතකින් කොටි වෙබ්අඩවි මගින් විකාශය කෙරුණි. මේ ශ්‍රීධරන් යනු යාපනයේ කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියෙකි. ස්‌විස්‌ කොටි වෙබ්අඩවිය මෙහෙයවන්නේ ශ්‍රීධරන්ගේ සොහොයුරායි.
මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේ ශ්‍රීධරන්ව ඝාතනය කිරීම සන්නද්ධ කණ්‌ඩායම උත්සාහ කිරීමයි.
එසේම සන්නද්ධ කණ්‌ඩායම ශ්‍රීධරන්ගේ රැකවලා තැබූ වෙඩිවලට බියේ පලාගොස්‌ තිබේ. එහෙත් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත. මෙය ජාත්‍යන්තර මාධ්‍යවේදී දිනයට පෙරදා මාධ්‍යවලට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ ක්‍රමවේදයට සමාන ක්‍රියාවකි.
ශ්‍රීධරන්ට වෙඩි තැබූ බව කියන මෙම සිද්ධිය බ්‍රිතාන්‍යයේ සිටින සොක්‌තලිංගම් විසින් ප්‍රචාරය කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව සමඟ කටයුතු කරන පිරිසක්‌ ඊට සම්බන්ධ බවයි.
මානව හිමිකම් සමුළුව මාර්තු 25 වැනිදා දක්‌වා පැවැත්වෙන අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් ගැන තවදුරටත් වාර්තා වනු නියතය.
මෙලෙස ජිනිවා මානව හිමිකම් සමුළුව වෙත ලිඛිත වාර්තා යොමු කර ඇති සංවිධාන අතරින් ඉමාඩ්ර් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ පසුබිම නිරීක්‍ෂණය කරන විට වන්නි මෙහෙයුම නතර කිරීමට එකී සංවිධානය උත්සාහ දරා තිබූ බව සනාථ වේ.

2009
මැයි 23 වැනිදා මේ සංවිධානය ප්‍රකාශයට පත්කළ නිවේදනයකින් අපරාධ ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලා තිබිණි.
එහෙත් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු බටහිර රටවල් කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන හඬ නගන්නේ නැත. මෑතකදී හෙළි වූ වාර්තාවකින් දැක්‌වූයේ ඇමරිකානු ජනාධිපති ඔබාමා විසින් හිටපු ජනාධිපති බුෂ්ට එරෙහි යුද අපරාධ චෝදනා වසන් කිරිමට ක්‍රියා කළ බවයි.
උස්‌බෙකිස්‌ථානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රෙග් මරේ විසින් මෑතකදී නෝර්වේ මාධ්‍ය අමතා පැවසුවේ. සී. අයි. ඒ. සංවිධානය සිරකරුවන්ව උණුදියේ පණපිටින් පිළිස්‌සූ බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් ඇමරිකාවට එරෙහි කිසිම හඬක්‌ නැඟී නැත.
මේ අතර සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මානව හිමිකම් සහ සහජීවනය ගැන හඬ නගයි. එහෙත් 1862 වසරේ ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ධවල මන්දිරයේ පැවැති උත්සව සභාව අමතා කළු ජාතිකයන් ඇමරිකාවෙන් පිට වී මධ්‍යම ඇමරිකාවේ පදිංචියට යා යුතු යෑයි පවසා තිබේ.
මේ ප්‍රකාශයට අදාළ ලියකියවලි ඇමරිකානු ලේඛනාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ තිබී හමුවිය. මේ නිසා එදා ලින්කන් අනුගමනය කළේ ජාතිවාදී පිළිවෙතක්‌ නොවේද?
මේ පසුබිම මැද රොබට්‌ බ්ලෙක්‌ලා මෙරටට උපදෙස්‌ දීමට යොමුවීම විහිළුවක්‌ නොවේද?
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් ද ජිනිවා මානව හිමිකම් ගැන හඬ නැඟුවේ ඇමරිකානු රජය ඉරාක ජාතිකයන් ලක්‍ෂයක්‌ ඝාතනය වීම සම්බන්ධයෙන් වගකිව යුතු බව සනාථ වී ඇති විටෙකය.
කීර්ති වර්ණකුලසූරිය


Friday, March 4, 2011

''මිනිසා විනාශ කළ හැකිය. නමුත් මිනිසා පරාජය කළ නොහැකිය''



විශ්ව විද්‍යාලවල සැබෑ තත්වය ගැන කියවෙන .. ඒ ගැන හොඳ දැනුමක් ලබාදෙන පොතක් මම මෑතකදී කියවීමි.
මෙය මුද්‍රණය කොට තිබෙන්නේ 2002 වසරේදි ... විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගිනුයි.
මෙය ලියා තිබෙන්නේ බොහොම අමාරුකම්වලින් යුතුව විශ්ව විද්‍යාලයක ඉගෙනීම ලබා ඉන්පසු එහිම ආචාර්ය වරයෙකු වී.. ඊටත් පසු මහාචාර්යවරයෙකු වී ... එයිනුත් නොනැවතී ඊලඟට ජේෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන සරත් විජේසූරිය මහතා විසිනි.  ඒ මහතා බොහෝ පොත් පත් ලියා තිබෙන දක්ෂ ලේඛකයෙකි.


මෙහි ලියා විස්තර කරන කාරණය සම්බන්ධයෙන් එතුමාට බොහෝ අත්දැකීම් ඇතුවාට නිසැකය.
මෙම පොත කියවාගෙන යත්දී අපේ සිරුරේ ලේ කුපිත වෙයි. ඇඟේ මාලු ගඟේ නටයි. මේ තරම් නරුමවාදී මිනිසුන් විශ්වවිද්‍යාලවල සිටිය හැක්කේදැයි සිතෙයි. මා වැනි මිනිසෙකු එහි සිටියේනම් මහාචාර්ය මහීපාලගේ හොම්බ තළනු ඇත.
[ හොඳ වෙලාවට මං එහෙ හිටියෙ නැත්තෙ]
නමුත් මේ පොතේ කතානායකයා බොහෝ ඉවසන්නෙකි. ඔහුගේ ඉවසීම සහ සංයමය අප තුල විශ්මයක් මතු කරන්නට සමත්ය.


ඔහු නිතරම මෙනෙහි කරන වදන් කීපයක් වෙයි.
''මිනිසා විනාශ කළ හැකිය. නමුත් මිනිසා පරාජය කළ නොහැකිය''
එය මෙනෙහි කරමින් ඔහු තම සටනට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙයි.
නමුත් මගේ පෞද්ගලික මතය නම් මෙහි එන කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් බවයි. එයට හේතු සාධක බොහෝ තිබෙයි.
මෙයට පාදක වූ චරිත ව්‍යංගයෙන් අඟවනවාට වඩා.... ඇත්තටම එළිදරව් කළේ නම් කැමැත්තෙමි. එවිට දුෂ්ඨයන්ව රටට හෙළි කළා නම් වෙයි. එසේම වර්තමාන විශ්ව විද්‍යාල ඇදුරන් හට පාඩමක්ද වෙයි.
මේ පොත පිළිබඳ විචාරයක් ලියන හේමරත්න ලියනාඅරච්චි මහතා මෙසේ කියයි.

බලපු නැති හැමෝම කියවල බලන්න .. පුංචි වුණත් ඉතාම හොඳ පොතක්.

අවශ්‍ය අයට  ISBN අංකය පහත සඳහන් කරමි.
ISBN  955 -652 – 105 - 4