Powered By Blogger

Monday, September 5, 2011

''කෙටි පණිවිඩය හා දිග කතා''



මට අද හොඳ අපූරු පොතක් කියවගන්න ලැබුණා. හැබැයි ඒක නව කතාවක් නම් නෙවෙයි.
ඒක කෙටිකතා පොතක්.
[පුංචි කාලෙ කෙටිකතා පොත් හුඟක් කියෙව්ව වුනාට.. පස්සෙ පස්සෙ නවකතාමනෙ කියෙව්වෙ. මං හිතන්නෙ වැඩිපුර ලැබුණෙ ඒව නිසා වෙන්න ඇති]
 ඒ වුනාට මේක ගුණාත්මකභාවයෙන් ඉතාම ඉහළයි.  ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය. එයා ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ.
එහි නම තමා ''කෙටි පණිවිඩය හා දිග කතා''.


පළමුවන මුද්‍රණය  2006 දිත් දෙවන මුද්‍රණය 2008 දිත් කරල තියෙන මේ පොත  සරසවි පොතක්.








මේ පොතේ තියෙන කතාටික කියෙව්වම මම නිකම් හොල්මන් වෙලා ගියා. ඔයගොල්ලොන්ගෙ බාසාවෙන්ම කිව්වොත් '' පට්ටම පට්ටයි'' කියල කියන්න පුලුවනි.  ඒකෙත් .. පළමුවෙනි කතාවයි .. දෙවනි කතාවයි.. ඒ සමගම තුන්වෙනි එකත්…  මගෙ හිතට හොඳටම අල්ලලා ගියා.
මගෙ කතාත් කතාද කියල හිතුනා.
 [කාටවත්ම කියන්න එපා.. මමත් නිකම් මේ... පොඩියට වගේ කෙටිකතාවක් දෙකක් ලියල තිබුණා. හි .. හි ...]
 ඒවත් එක්ක සසඳල බැලුවම හරියටම අර  ''හිරු දුටු කදෝපැණිය''  වගේ වුනානෙ මේ අසරණ මං.   අයියෝ සංසාරේ .... ඒව එබුව කුණුකූඩෙට.
ආයෙ නම්  කෙටිකතා ලියන්නත් මොකක්ද වාගෙ.
කොහොම වුනත් මට කියන්න ඕන කළේ මේක ඉතාම හොඳ පොතක් බවත්
  සහ
කියවපු නැති හැමෝම වාගෙ කියවලා බැලිය යුතුම පොතක් බවත් ය ….  කියලයි.

I S B N     955 – 573 – 146 - 1


Sunday, September 4, 2011

''බ්ලොග් කෙරුවාවෙන් ඉගෙනගත් අමුතු වචන''



අද මම ලියන්න යන්නෙ පොත් ගැන නෙවෙයි ..
මම මෙතෙක් කල් බ්ලොග් ලියන්නන්ගෙන් අහුලගත්තු අලුත් වචන කීපයක් ගැනයි.
මුලින්ම මම ඉගෙනගත්ත වචනය තමයි ''පට්ට'' කියන එක. ඒක ඉස්සෙල්ලම කිව්වෙ කවුද කියන එක මතක නැති වුනත් .. බයිස්කෝප් එකේ කට්ටිය තමයි නිතරම යෙදුවෙ තම තමන්ගෙ චිත්‍රපට හඳුන්වා දීම සඳහා. මුලදි මට ඕක එතරම්ම තේරුණේ නැති වුනත් .. දැන් නම් දන්නව .. ඉතාම හොඳ .. එහෙම නැත්නම් විශිෂ්ඨයි කියන අදහස කියවෙන බව.
නමුත් අපේ ගම්පළාත්වල ඕක යෙදුවෙ වෙන විදිහකටයි. ''උඹ කියන්නෙ පට්ටපල් බොරු'' වැනි යෙදුමකටයි. ඕක අසභ්‍ය වගෙ පෙනුනත් තව තැනක යෙදුවා .. ''පට්ට වේසි'' කියල.
[මේකෙ තේරුම අති විශිෂ්ඨ වේසි.. එහෙම නැත්නම් ඉතාම හොඳ වේසි ද මන්දා]
මොනව උනත් අපි ඒ වචන හොඳ පැත්තට යොදන්නෙ නෑ ... මම දන්න විදිහට. උදාහරණයක් වශයෙන් ... ''පට්ටපල් බොරු'' කියල යෙදුවට ''පට්ටපල් ඇත්ත'' කියල යොදන්නෙ නැහැනෙ. ඕකෙ මං දන්නෙ නැති මොකක් හරි රීතියක් ඇති.
නමුත් මගෙ පෞද්ගලික මතය නම් යෙදිය හැකි බවයි. උදාහරණයක් විදිහට ''අමූලික බොරු'' කියන එක ''අමූලික ඇත්ත'' කියලත් යොදන්න පුලුවන් වෙන්න ඕන.
කවුරු හරි සිංහල හොඳට දන්න කෙනෙක් මැදිහත් වෙලා පහදල දෙනවනම් මම කැමතියි.
ඊ ලඟට ඉගෙන ගත්ත වචනය තමයි .. රත්ගමයගෙ ''ඉකේයිය'' කියන එක. ඒකත් මරු වචනෙ .... හි .. හි... හුඟක් තැන්වල යොදන්න පුලුවන්.
[ හැබැයි රත්ගොමය දැන් නම් වැඩිය ඒක භාවිතා කරන්න නෑ වාගෙ.]
 ඉස්සර මම බ්ලොග් කියවත්දි එයාව හඳුනාගැනීමේ සංකේතය වුනේ .. ඔය ''ඉකේයිය'' කියන එක තමයි.
මීලඟ එක තමා අපේ ඩබ්ලිව්. සුළැඟිල්ලා මහතාගේ ''ලොල්ය'' කියන එක. ඒකත් මට මුලදි තේරුනේ නෑ.. මං හිතන විදිහට .... ආස හිතෙන / ආදරේ හිතෙන / උනන්දුව ඇතිකරන  වගේ එකක් වෙන්න ඇති. ඒකත් මරු වචනෙ. ඒකටත් මම  කැමතියි.
එතකොට අපේ කතන්දරගෙන් ඉගෙන ගත්තා .. අලුත් වචනයක්. ''මැවිසුරුවා'' කියල. ඒක මට අලුත්ම වචනයක් වුනා. ඒකෙ තේරුම නම් ඉතින් හැමෝම වාගෙ දන්නවනෙ.
ඊ ලඟට ඔය පෙරමුණේ රාළගෙ බ්ලොග් එක පැත්තෙ යන කෙනෙක් .. මට නම හරියටම මතක නෑ ... තවත් මරු වචනයක් භාවිතා කළා නිතරම. ඒ තමයි '' කුජීතයි නේද පින්වත'' කියන එක. අපි ජීවත්වෙන මේ කුජීත සමාජයෙදි හුඟක් තැන්වල කදිමට යොදන්න පුලුවන් නියම වචනයක් ඒක. ඒකටත් මම හුඟක් කැමතියි.
තව එකක් තියෙනව .. රංග මගේ ලෝකය බ්ලොග් එකෙන් ඉගෙනගත්ත.
 ඒකත් ටිකක් අමුතුයි වාගෙ පෙනුනට මම ඒකටත් කැමති වුනා. ඒ තමයි ..''ලෙසටම'' කියන එක. මුලදි මේකත් මට තේරුනෙ නෑ. එයාගෙ ලිපිය අවසානෙටම කියෙව්වට පස්සෙ තමයි තේරුනේ .. ''ලෙසටම'' කියන්නෙ යම් වැඩක් හරියටම නිවැරදිව කිරීමට කියල.  තව විදිහකට කිව්වොත් කැපවෙලා.. එහෙම නැත්නම් බැහැල කරනවා කියන්නෙ. අන්න ඒකට.
[දැනට නුපුරුදු වුනත් අපිත් පුරුදු වෙන්න ඕන ඒකම තමයි]
දැනට ඉතින් ඔය වචන ටික තමයි .. තව ඉදිරියට මොන මොන අලුත් වචන ඒවිද කියන්න බෑනෙ. ඒව ගැන එතකොට ලියමු.
මගෙ බ්ලොග් එක  වැඩි දෙනෙක් කියවන්නෙ නැති බව නම් ඇත්තයි. ඒ වුනාට අනිත් අයගෙ බ්ලොග් කියවල මම හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනව. දැනටත් ඉගෙන ගනිමිනුයි ඉන්නෙ.
මම මේ බ්ලොග් කෙරුවාවට කැමතිත් ඒ හින්දමයි.


Thursday, September 1, 2011

''කලුවර වසන්තය''

අන්ධකාර ලොවක් කෙසේ තිබිය හැක්කේද ...?
ඔබ එබඳු ලෝකයකට ගොස් තිබේද.....?
ජීවිත කාලයම අඳුරු ලොවක ජීවත් වීමට සිදුවෙයි නම් ......


මේ දිනවල කියවපු පොත ඒ ගැනයි. ''කලුවර වසන්තය'' නැමති මේ පොත ලියා තිබෙන්නේ ගුරුවරියක් ,විදුහල්පතිනියක් , ගුරු උපදේශිකාවක් වශයෙන් බොහෝ කලක් සමාජයට සේවයක් කොට තිබෙන කාන්තාවක් වන නන්දා පෙරේරා මහත්මිය විසිනි.
ප්‍රථම මුද්‍රණය 2006 දී නිකුත් කොට ඇති මෙය සරසවි ප්‍රකාශනයක් වේ.


සැබැවින්ම අන්ධ පුද්ගලයන් කීප දෙනෙකු සමග සාකච්චා කොට ඔවුන්ගේ සැබෑ අත් දැකීම් අලළා ලියන ලද මේ කතාව මුලදී ඉතාම සංවේදී එකකි.

අවසානය කුමක් වෙයිද ....?
පොත කියවලාම බලන්න... ඉතාම හොඳ පොතක්.

I S B N     955 – 573 – 419 - 4