Powered By Blogger

Sunday, December 2, 2012

ගසක් අඬනවා දැක තිබේ ද ...?



 
මේක අපි ඉපදෙන්නත් ඉස්සර 1959 දි විතර ප්‍රකාශයට පත් වූ පරිවර්තනයක්.

මුල් කෘතිය ලියල තියෙන්නෙ විකී බෝම් මැතිණිය විසින්. [ සත්‍ය සිදුවීම් මත පදනම් ව ]

සිංහල භාෂාවට හැරවිල තියෙන්නෙ .. පූජ්‍ය ඌරාපොල හේමාලෝක ස්වාමීන් වහන්සේ සහ හේමපාල විජේවර්ධන මහතා අතිනුයි.
 
 

මම මේක ඉස්සෙල්ලම කියෙව්වෙ පාසැල් යන කාලෙ. හුඟක් විචාරකයො කියල තිබුණ දෙයක් තමයි මේ පොත වාර්තාමය ස්වරූපයකින් ලියවිලා තියෙනව ය කියන එක.

නමුත් මම නම් ඒකට එකඟ වෙන්නෙ නෑ .. මේක සාමාන්‍ය නවකතාවක් වගේ කියවගෙන යන්න පුලුවන්.

[කියවල ඉවරවෙනකම් ම බිමින් තියන්න හිතෙන්නෙ නැති ජාතියෙ පොතක්]

මුල් කෘතියෙහි රසය ඒ විදිහටම අපට ලැබෙන ආකාරයෙන් පරිවර්තනය කර තිබීමත් මීට එක හේතුවක් වෙන්න පුලුවනි.

ඒ වගෙම මේ කතාව හරිම සංවේදියි. .. හද සසළ කරවන සුළුයි.

මෙහි අන්තර්ගත වෙන්නෙ රබර් ගසේ කතන්දරය. රබර් කිව්වම දැන් අපට බොහොම සුලු දෙයක් නොවේද ..?  අලුත උපන් ළදරුවාගෙ සූප්පුවේ සිට වැඩිහිටියන් ට ඇවැසි වෙන කොණ්ඩමය දක්වා .. රබර් භාණ්ඩ ඕනෑ තරම්.

නමුත් ඒ කාලෙ එහෙම නෙවෙයි ... මේ රබර් නිසා බොහෝ මිනිස්සු දුක් වින්දා. හාවි පයර්ස්ටෝන් .. එතකොට චාල්ස් ගුඩ් ඉයර් වගෙ මිනිස්සු මානසිකව බොහෝ දුක් විඳපු අය.   [ දැන් නම් ගුඩ් ඉයර්ලගෙ ටයර් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි ]

නමුත් ඔවුන් ඒ ව්‍යාපාර පටන්ගෙන ඉදිරියට ආවෙ බොහෝ අවහිරතා මැද්දෙ. අන්තිමේ ගුඩ් ඉයර් මියගියෙ බංකොළොත් වෙලා හිඟන්නෙක් විදිහට.

ඒ වගෙ අය මානසිකව විඳවනකොට .. තව කට්ටියක් හිටියා ශාරීරිකව වද විඳපු. ඒ අය තමයි රබර් ගස වැවුනු.... දකුණු ඇමරිකාවෙ කැලෑවල වාසය කරපු... සමහර මිනිස්සු. එයාලට බල කරනු ලැබුවා .. මේ අඬන ගසේ කඳුලු එකතු කිරීමට. එසේ නොකරන අයට තද දඬුවම් ලැබුනා .. නැතහොත් මරණය හිමි වුනා. බ්‍රසීලයේ කැලෑවල වාසය කරපු සමහර ගෝත්‍ර සමූලඝාතනය කෙරුනා .. මේ රබර් නිසා.

මෙහි එක් ගෝත්‍රිකයෙක් වද දෙනු ලැබ මරණාසන්න ව සිටියි. [ ඊට හේතුව .. ඔහු එදිනට නියමිත රබර් ප්‍රමාණය එකතු කර නොදීම ] මිය යමින් සිටිය දී ඔහුට පහළවන සිතුවිලි මෙබඳුයි. '' මම මේ වනයේ සාමයෙන් ජීවත් වුනෙමි. නිදහසේ සතුටින් සිටියෙමි .. මේ කඳුලු ගස් මෙහි පැළවුනේ මක් නිසා ද...?  මා මියගිය පසු මේ අඬන ගස් නැති රටක ඉපදේවා යි පතමි ''

මේ පොත කියවා හමාර කළ පසු ... බොහෝ මිනිසුන් ගේ ලේ සහ කඳුලු මැදින් ඉදිරියට ආ රබර්වලින් සෑදූ සෙරෙප්පු දෙකක් කිසිම ගානක් නොමැති වපය ලා ගෙන සිටීම පිළිබඳව මම ලැජ්ජාවට පත් වුනා.

ඔයගොල්ලොත් හොයාගෙන කියවලා බලන්න. මෙතෙක් කල් කිසිදු තැකීමක් නොමැතිව රබර් භාණ්ඩ පරිහරණය කිරීම ගැන ඔබත් මා වාගේම ලැජ්ජාවට  පත් වෙනවා ට සැකයක් නෑ.

 

ගොඩගේ පොතක් ..

ප්‍රකාශිත වර්ෂය  1959

පිටු  784

 ISBN  10  9552012821

මිළ  රුපියල්   500/-

Tuesday, November 20, 2012

ඔබ .. කා සමග ද ...?



අද මම කියන්න යන්නෙ ටිකක් විතර පරණ පොතක් ගැන. පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් ලියන ලද මේ පොත 2010 වසරෙදි තමයි එළියට ඇවිත් තියෙන්නෙ.

මේක මම ගත්තෙ ගිය වසරෙ නෙවෙයි ඊට කලින් වසරෙ තිබුන පොත් ප්‍රදර්ශනයෙදි.
 
 

මේ පොතට ආසා වෙලා ගෙනාවට මොකද ... කියවන්න ගත්තම එපා වුනා. හරිම නීරස ගතියකුයි දැනුනේ. ඉතින් පැත්තකට දැම්මා.
මේ ලඟකදි මට කියවීමේ අහේනි කාලයක් ආවා. [හිටපු ගමන් එහෙම ඉඩෝර  එනවා]
මේ වගෙ කාලෙකදි .. ඒ කියන්නෙ කියවන්න හරිහමන් මුකුත් නැති වුනාම ...තමයි අපි පරණ පත්තර කෑලි හිට හොය හොය කියවන්නෙ. එහෙම කියවන්න දේවල් හොයනකොට  මේ පැත්තකට දාල තිබුන පොත හම්බ වුනා. මුකුත් ම නැති එකේ මේකත් මදෑ ... ''ඉඩෝරයට දිය දෝතක්''  කියල නැවත කියවන්න ගත්තා.

 මුල ටික හරි අමාරුවුනා කියවගන්න. මං හිතන්නෙ ඒකට ප්‍රධාන හේතුවක් තමයි ... මේ රචනා  ශෛලිය කියන එක. එක එක්කෙනා ලියන්නෙ එක එක විදිහටනෙ. ඉතින් ඔය රචනා විලාසය අපි අකමැති විදිහකට තිබුනම ඕනම පොතක් එපා වෙනවා ..

අනික මට වෙන විකල්පයකුත් තිබුනෙ නෑ .. පරණ පත්තර ඇරෙන්නෙ. [ඕන ම කෙනෙක් තදින් බඩගිනි වුනා ම නීරස කෑම වුනත් කන්ට පෙළඹෙනවා ]
 
 

ඉතින් කියවගෙන යද්දි .. මම ටික ටික ඒ ලියල තිබුන විලාසයට හුරුවෙන්න ගත්තා .. එහෙම හුරුවෙනකොට අපි ඉබේටම වගේ පොත තුළට කිඳා බහින්ට පටන් ගන්නවා. එතකොට අර නීරස ගතිය මගහැරී යනව වගේම ... ලේඛකයා කියන්ට උත්සාහ කරන දේ වඩා හොඳට වැටහෙන්නත් පටන් ගන්නවා..
 ඔන්න එතකොට තමයි හිතෙන්නෙ .. ''කොච්චර හොඳ පොතක් ද මේ  .. අපරාදෙන මම අහකට දාල තිබුනෙ'' කියලා. ඉතින් වේගයෙන් කියවල ඉවර කළා .. අපේ අර කවුද මිතුරියක් කිව්ව වගේ  ..''එක හුස්මට''  කියෙව්වා කියල කිව්වහැකි.
 
 

කියවල ඉවර වුනා ම මට පොඩි ගැටළුවකුත් ඉතුරු වුනා .. ඒ .. මම කා සමග ද කියන එක ගැන. පැහැදිළිව ම '' ඔබ සමග '' නම් නෙවෙයි. අවංකව ම මම කා සමගද කියන එක ගැන  හෙමීට කල්පනා කරල බැලුවම .. හීනියට ලැජ්ජාවක් වගෙත් දැනුනා.

ඔයගොල්ලොත් අමාරුවෙන් හරි කියවලා බලන්න ... ඔබට ම වැටහේ වි ඔබ .. ''ඔබ සමග''  ද ..?   නැතිනම් කා සමග ද  ...?  කියලා.
 
පසුව දැනගන්නට ලැබුන පරිදි .. පරාක්‍රම කොඩිතුවක්කු මහතා පොත් පහළොවක් විස්සක් ලියූ පළපුරුදු ලේඛකයෙකි. එතුමා ලියූ පොත් කීපයකටම රාජ්‍ය සම්මාන සහ ස්වාධීන සම්මාන හිමිව තිබේ.

වැඩිපුරම සම්මාන ලැබී ඇත්තේ කාව්‍ය සංග්‍රහ වලටය.

 

ප්‍රථම මුද්‍රණය     2010

පිට කවරය        ගුණසිරි කොළඹගේ

ප්‍රකාශක            සීමා සහිත සරසවි ප්‍රකාශකයෝ

I S B N                978 – 955 – 671 – 270 – 4

මිළ රුපියල්       290/-
 
 

Monday, November 12, 2012

'' අබිරහස් ජීවිත තරණය''



 

අද මම ලියන්න අදහස් කරන්නෙ .. ස්වර්ණ පුස්තක සම්මානවල අවසන් වටයට තේරුණු .. ඒත් වැඩිදෙනෙක් වැඩිය කතා නොකරපු පොතක් ගැන. ටෙනිසන් පෙරේරා මහත්තය ලියපු මේ පොත ..පහුගිය පොත් ප්‍රදර්ශනයෙදි දැකල අරගත්තෙ .. නමේ මුලටම තිබුණ ''අබිරහස් '' කියන වචනය දැකලයි. 
[ ඒකට හේතුව වුනේ .. ටෙනිසන් මහත්තය පහුගිය කාලෙ ඇමරිකාවෙ ඉන්නකොට .. ඔහු පදිංචිව සිටි නිවසෙහි මහ අබිරහස් සිදුවීම් කීපයක් ම වුන බව මට දැනගන්න ලැබුන නිසා. මං හිතුවෙ කතාව ඒ සිදුවිම් ගැන කියලයි. නමුත් මේ ඒක ගැන නෙමේ ]
මේක අපේ රටේ සිදුවුන සිදුවීම් පෙළක් ...
 
 

අවසන් වටයට ආපු අනෙකුත් පොත්වලට සාපේක්ෂව .. මේ පොත පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුනෙ නෑ… මට මතක විදිහට.  මං හිතන්නෙ හුඟදෙනෙක් තවම කියවල නැතුව ඇති.  එහෙම නැතුව මිනිස්සු මේ පොතට අකමැති වා වත් ද ...?

මං වුනත් මුලදි ටිකක් කියවල අතහැරල දැම්ම. මොකද කිව්වොත් මහ එපාවෙන ගතියක් තමයි තිබුනේ. ටික දවසක් යන්න ඇරල නැවත කියවන්න පටන්ගත්තා .. හැබැයි මේ සැරේ කියවන්න පටන්ගත්තෙ පොතේ මැද ඉඳන්. ඔය එපාවෙන ජාතියෙ පොත් මම එහෙම කරල තියෙනවා මීට කලිනුත්. උදාහරණයක් විදිහට .. ''ඇටමැස්සා'' එහෙම කියවපු පොතක්. මැද ඉඳන් කියෙව්වම ඔන්න රස වැටෙනවා. ඊට පස්සෙ එක දිගටම කියවන්න පුලුවනි කම්මැළි නැතුව.

අවසානෙට යනකම් කියෙව්වට පස්සෙ .. දැන් ඉතින් මුල ටික කියවන්න ආසාවක් එනවා ඉබේටම. ඉවරවෙලා කොටස් දෙක ගළපාගන්න පුලුවන්. මුල ඉඳන් ආපහු එද්දි .. සමහරවිට නැවත මුලු පොතම .. එකදිගටම   කියවාගෙන යන අවස්ථා ත් තිබුනා. එහෙම වුනාම කතාව හොඳට හිතට දැනෙන්නත් පටන් ගන්නවා.
 
 

ඇත්තටම මේ පොත ..  මුලදි මහ විකාරයක් වගේ පෙනුන මේ පොත .. ඉතා හොඳ එකක් බව මට වැටහුනා. ටෙනිසන් මහත්තය මේක අපූරුවට ගළපලා ලියල තියෙනවා. මෙහි එන අවසානයට මම ඉතාම කැමතියි. මොකද පොතක අවසාන ය ඉතාම වැදගත් දෙයක් ය කියලයි මම හිතන්නෙ.

[ඒත් ඒ අවසානෙ දි වුනත් රන්ජන් නැමැති තරුණයා ... තරුණියක් බවට පත්වෙන කොටස නැතුව තිබුණ නම් එය මීට වඩා තීව් ර අවසානයක් වෙන්න ඉඩ තිබුනා .. කියලත් මට හිතුනා ]
 
 

ඉතින් ..මෙතෙක් නොකියවපු අයගෙන් ඉල්ලා සිටීමට කැමතියි .. හොයාගෙන කියවන ලෙසසහ මේ ගැන අදහස් ඉදිරිපත් කරන ලෙස.

පළමුවන මුද්‍රණය   2011

දෙවන මුද්‍රණය       2012

ප්‍රකාශනය              සරසවි ප්‍රකාශකයෝ

පිට කවරය            සමන් ඉන්දික

I S B N                   978 – 955 – 671 – 460 - 9

මිළ රුපියල්          425/-

 

Saturday, November 3, 2012

සැබෑ මිනිසෙකුගේ කතාවක් ...




 
අද මම කියන්න යන්නෙ ... පරණ වුනත් .... හුඟක් හොඳ පොතක් ගැනයි. අපි අතර ඉන්න බොහෝ දෙනක් මේක කියවලත් ඇති. 
 [ පසුගිය දා තිබුන පොත් ප්‍රදර්ශනයෙදි මේක නැවත අරගත්තා]
 
 

මේ පොත ගැන මට විශෙෂයෙන් ම කියන්න ඕන කළේ .... මම උත්සාහවන්ත එකෙක් බවට පත් වුනෙ මේක කියෙව්වට පස්සෙ නිසයි.

මෙහි එන කතා නායකයා තමන්ගෙ අරමුණ මුදුන් පමුණුවාගැනීමට ගන්න වෙහෙස මහන්සිය .. එතකොට ඒ වෙනුවෙන් කරන කැපවීම .. ඉවසීමෙන් කටයුතු කරගනිමින් ජයග්‍රහණය කරා ගමන්කිරීම දකිනකොට කියවන අපටත් ඒක ජයග්‍රහණයක් ම වෙනවා.

ඒ කාලෙ මම ඕ ලෙවල් ඇනගෙනයි හිටියෙ .. පළවෙනි වතාවෙ ම  එහෙම වුනාම ඕනම කෙනෙක් කළකිරිලා .. ටිකක් විතර උදාසීන වෙලානෙ ඉන්නෙ.. ඉතින් ඔය අතරෙදි තමයි මට මේ පොත කියවන්න ලැබෙන්නෙ. මේක කියෙව්වට පස්සෙ පුදුමාකාර විදිහට මම දහිරියමත් වෙනවා ...  එයාට ඒක කරන්න පුලුවන් නම් ඇයි මට මේ පොඩි දේ කරගන්න බැරි ... කියන මතයට මම එනවා. .. නැවත මම විභාගෙ ලියනවා ...
[ඇත්තටම ඔහු කරපු දේ එක්ක සසඳනකොට විභාගෙ කියන්නෙ පොඩි දෙයක්]

ඉතින් මම ජයග්‍රහණය කරනවා.  ඒ විතරක් නෙවේ ... ඊට පස්සෙත් හුඟක් වෙලාවල් වලදි මේ පොත මට ඒ විදිහට උදව් කරල තියෙනවා.

 [මේ පොත මේ විදිහට ම තව බොහෝ දෙනෙකුට පිහිටවෙලා තියෙන බව මට පසු කාලීනව දැනගන්න ලැබුනා]

මං හිතන්නෙ ඒකට එක හේතුවක් තමයි මේක මේ ලෝකෙ සිද්දවුන සැබෑම කතාවක් වීම.

අනික තමයි .. මේ පොත දැදිගම වී රුද්‍රිගු මහතා විසින් කෙලින් ම රුසියානු භාෂාවෙන් .. අපේ භාෂාවට .. කතා රසය නොනැසෙන සේ පරිවර්තනය කොට තිබීම.  

[1960 සිට 1988 දක්වා අවුරුදු විසි අටක් ම එතුමා රුසියාවෙම සිටි නිසා .. එම භාෂාව පිළිබඳව මනා පරිචයක් ලැබීම ඒකට  හේතු වෙන්නත් ඇති]
 

හුඟක් හොඳ පොතක්.

ඒ නිසා .. කියවපු නැති අය ඉන්නවනම් .. හොයාගෙන කියවල බලන්න ය කියල ඉල්ලා සිටීමට කැමතියි.

 

ලිව්වේ .. රුසියානු ලේඛක බරීස් පලවොයි විසින් ..

පරිවර්තනය  දැදිගම . වී. රුද්‍රිගු

ප්‍රකාශනය ... එස්. ගොඩගේ සහ සහෝදරයෝ

I S B N  978 – 955 – 30 – 1399 – 6

මිළ රුපියල්  500
 
 

Monday, October 22, 2012

රතු ඉද්ද



 

අද මම කියන්න යන්නෙ ... මම කියවපු තවත් හොඳ පොතක් ගැන.

කරුණාදාස සූරිය ආරච්චි එහෙම නැත්නම් ''කසුරි'' කියල කිව්වම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.

එතුමා විසින් ලියපු මේ පොත මේ වසරෙ ''ස්වර්ණ පුස්තක සම්මානය'' සඳහා නිර්දේශ වුන එකක්.
 
 

මෙහි ප්‍රථම මුද්‍රණය  2011 මැයි 12 දාත් ..

දෙවන මුද්‍රණය 2012 අගෝස්තු 29 වෙනිදාත් සිදුකොට තිබෙයි.

මම මේ පොත දෙපාරක් ම කියෙව්ව. [ඒ ගැන විස්තරයක් ලියනවනම් එහෙම කියවන්න වෙනව]
 
 

කසුරි මහත්මයා ලියපු පොත් වලින් එකකට හැර .. අනෙක් හැම පොතකටම මම කැමති වෙලයි හිටියෙ.

නමුත් මේ පොත ඒ ඔක්කොටම වඩා ඉස්තරම් විදිහට සහ හිතට කා වදින විදිහට ලියල තියෙනව.

මට හිතාගන්න බෑ ඇයි මේක මේ වසරෙ හොඳම පොත වුනේ නැත්තෙ කියල. [මේ වගේ කාලෝචිත එකක් විනිශ්චය මණ්ඩලයෙන් අතහැරුනෙ කොහොමද ..? කියන එක මට ආපු ප්‍රශ්ණයක් ]

දැන් ඉතින් ''සිටුවර පුවත'' ලියපු කතුතුමිය මා සමග අමනාප වෙන්න එපා මෙහෙම කිව්වය කියල... මේක මගෙ පෞද්ගලික මතය පමණයිනෙ. අනික මම මහා ලොකු විචාරකයෙකුත්  නෙවෙයි ..

මේ සටහන් වුනත් මම තබන්නෙ සාමාන්‍ය පාඨකයෙක් විදිහට.
 
 

මෙහි අවසාන භාගය කියවගෙන යද්දි .. මට හිතුන වැඩේ කොහු වෙන්න තමයි යන්නෙ කියල. නමුත් අවසානය වෙනකම්ම කියෙව්වම මම හුඟක් සතුටු වුනා ... ඇත්තටම අවසානය ඉස්තරම් විදිහට අරන් තියෙනව.
 ''ආදරය සහ ජීවිතය''
අපි හැමෝටම ලැබිය යුත්තෙත් ඒකම නේද ...? කියලත් මට හිතුනා.

හොඳ පොතක්.

කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා හිටිනවා ..

 

ISBN    978 – 955 – 551 – 907 – 6

මුද්‍රණය කොට ප්‍රකාශ කර තිබෙන්නෙ ..

දයාවංශ ජයකොඩි සහ සමාගම විසිනුයි.