Powered By Blogger

Tuesday, November 20, 2012

ඔබ .. කා සමග ද ...?



අද මම කියන්න යන්නෙ ටිකක් විතර පරණ පොතක් ගැන. පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් ලියන ලද මේ පොත 2010 වසරෙදි තමයි එළියට ඇවිත් තියෙන්නෙ.

මේක මම ගත්තෙ ගිය වසරෙ නෙවෙයි ඊට කලින් වසරෙ තිබුන පොත් ප්‍රදර්ශනයෙදි.
 
 

මේ පොතට ආසා වෙලා ගෙනාවට මොකද ... කියවන්න ගත්තම එපා වුනා. හරිම නීරස ගතියකුයි දැනුනේ. ඉතින් පැත්තකට දැම්මා.
මේ ලඟකදි මට කියවීමේ අහේනි කාලයක් ආවා. [හිටපු ගමන් එහෙම ඉඩෝර  එනවා]
මේ වගෙ කාලෙකදි .. ඒ කියන්නෙ කියවන්න හරිහමන් මුකුත් නැති වුනාම ...තමයි අපි පරණ පත්තර කෑලි හිට හොය හොය කියවන්නෙ. එහෙම කියවන්න දේවල් හොයනකොට  මේ පැත්තකට දාල තිබුන පොත හම්බ වුනා. මුකුත් ම නැති එකේ මේකත් මදෑ ... ''ඉඩෝරයට දිය දෝතක්''  කියල නැවත කියවන්න ගත්තා.

 මුල ටික හරි අමාරුවුනා කියවගන්න. මං හිතන්නෙ ඒකට ප්‍රධාන හේතුවක් තමයි ... මේ රචනා  ශෛලිය කියන එක. එක එක්කෙනා ලියන්නෙ එක එක විදිහටනෙ. ඉතින් ඔය රචනා විලාසය අපි අකමැති විදිහකට තිබුනම ඕනම පොතක් එපා වෙනවා ..

අනික මට වෙන විකල්පයකුත් තිබුනෙ නෑ .. පරණ පත්තර ඇරෙන්නෙ. [ඕන ම කෙනෙක් තදින් බඩගිනි වුනා ම නීරස කෑම වුනත් කන්ට පෙළඹෙනවා ]
 
 

ඉතින් කියවගෙන යද්දි .. මම ටික ටික ඒ ලියල තිබුන විලාසයට හුරුවෙන්න ගත්තා .. එහෙම හුරුවෙනකොට අපි ඉබේටම වගේ පොත තුළට කිඳා බහින්ට පටන් ගන්නවා. එතකොට අර නීරස ගතිය මගහැරී යනව වගේම ... ලේඛකයා කියන්ට උත්සාහ කරන දේ වඩා හොඳට වැටහෙන්නත් පටන් ගන්නවා..
 ඔන්න එතකොට තමයි හිතෙන්නෙ .. ''කොච්චර හොඳ පොතක් ද මේ  .. අපරාදෙන මම අහකට දාල තිබුනෙ'' කියලා. ඉතින් වේගයෙන් කියවල ඉවර කළා .. අපේ අර කවුද මිතුරියක් කිව්ව වගේ  ..''එක හුස්මට''  කියෙව්වා කියල කිව්වහැකි.
 
 

කියවල ඉවර වුනා ම මට පොඩි ගැටළුවකුත් ඉතුරු වුනා .. ඒ .. මම කා සමග ද කියන එක ගැන. පැහැදිළිව ම '' ඔබ සමග '' නම් නෙවෙයි. අවංකව ම මම කා සමගද කියන එක ගැන  හෙමීට කල්පනා කරල බැලුවම .. හීනියට ලැජ්ජාවක් වගෙත් දැනුනා.

ඔයගොල්ලොත් අමාරුවෙන් හරි කියවලා බලන්න ... ඔබට ම වැටහේ වි ඔබ .. ''ඔබ සමග''  ද ..?   නැතිනම් කා සමග ද  ...?  කියලා.
 
පසුව දැනගන්නට ලැබුන පරිදි .. පරාක්‍රම කොඩිතුවක්කු මහතා පොත් පහළොවක් විස්සක් ලියූ පළපුරුදු ලේඛකයෙකි. එතුමා ලියූ පොත් කීපයකටම රාජ්‍ය සම්මාන සහ ස්වාධීන සම්මාන හිමිව තිබේ.

වැඩිපුරම සම්මාන ලැබී ඇත්තේ කාව්‍ය සංග්‍රහ වලටය.

 

ප්‍රථම මුද්‍රණය     2010

පිට කවරය        ගුණසිරි කොළඹගේ

ප්‍රකාශක            සීමා සහිත සරසවි ප්‍රකාශකයෝ

I S B N                978 – 955 – 671 – 270 – 4

මිළ රුපියල්       290/-
 
 

Monday, November 12, 2012

'' අබිරහස් ජීවිත තරණය''



 

අද මම ලියන්න අදහස් කරන්නෙ .. ස්වර්ණ පුස්තක සම්මානවල අවසන් වටයට තේරුණු .. ඒත් වැඩිදෙනෙක් වැඩිය කතා නොකරපු පොතක් ගැන. ටෙනිසන් පෙරේරා මහත්තය ලියපු මේ පොත ..පහුගිය පොත් ප්‍රදර්ශනයෙදි දැකල අරගත්තෙ .. නමේ මුලටම තිබුණ ''අබිරහස් '' කියන වචනය දැකලයි. 
[ ඒකට හේතුව වුනේ .. ටෙනිසන් මහත්තය පහුගිය කාලෙ ඇමරිකාවෙ ඉන්නකොට .. ඔහු පදිංචිව සිටි නිවසෙහි මහ අබිරහස් සිදුවීම් කීපයක් ම වුන බව මට දැනගන්න ලැබුන නිසා. මං හිතුවෙ කතාව ඒ සිදුවිම් ගැන කියලයි. නමුත් මේ ඒක ගැන නෙමේ ]
මේක අපේ රටේ සිදුවුන සිදුවීම් පෙළක් ...
 
 

අවසන් වටයට ආපු අනෙකුත් පොත්වලට සාපේක්ෂව .. මේ පොත පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුනෙ නෑ… මට මතක විදිහට.  මං හිතන්නෙ හුඟදෙනෙක් තවම කියවල නැතුව ඇති.  එහෙම නැතුව මිනිස්සු මේ පොතට අකමැති වා වත් ද ...?

මං වුනත් මුලදි ටිකක් කියවල අතහැරල දැම්ම. මොකද කිව්වොත් මහ එපාවෙන ගතියක් තමයි තිබුනේ. ටික දවසක් යන්න ඇරල නැවත කියවන්න පටන්ගත්තා .. හැබැයි මේ සැරේ කියවන්න පටන්ගත්තෙ පොතේ මැද ඉඳන්. ඔය එපාවෙන ජාතියෙ පොත් මම එහෙම කරල තියෙනවා මීට කලිනුත්. උදාහරණයක් විදිහට .. ''ඇටමැස්සා'' එහෙම කියවපු පොතක්. මැද ඉඳන් කියෙව්වම ඔන්න රස වැටෙනවා. ඊට පස්සෙ එක දිගටම කියවන්න පුලුවනි කම්මැළි නැතුව.

අවසානෙට යනකම් කියෙව්වට පස්සෙ .. දැන් ඉතින් මුල ටික කියවන්න ආසාවක් එනවා ඉබේටම. ඉවරවෙලා කොටස් දෙක ගළපාගන්න පුලුවන්. මුල ඉඳන් ආපහු එද්දි .. සමහරවිට නැවත මුලු පොතම .. එකදිගටම   කියවාගෙන යන අවස්ථා ත් තිබුනා. එහෙම වුනාම කතාව හොඳට හිතට දැනෙන්නත් පටන් ගන්නවා.
 
 

ඇත්තටම මේ පොත ..  මුලදි මහ විකාරයක් වගේ පෙනුන මේ පොත .. ඉතා හොඳ එකක් බව මට වැටහුනා. ටෙනිසන් මහත්තය මේක අපූරුවට ගළපලා ලියල තියෙනවා. මෙහි එන අවසානයට මම ඉතාම කැමතියි. මොකද පොතක අවසාන ය ඉතාම වැදගත් දෙයක් ය කියලයි මම හිතන්නෙ.

[ඒත් ඒ අවසානෙ දි වුනත් රන්ජන් නැමැති තරුණයා ... තරුණියක් බවට පත්වෙන කොටස නැතුව තිබුණ නම් එය මීට වඩා තීව් ර අවසානයක් වෙන්න ඉඩ තිබුනා .. කියලත් මට හිතුනා ]
 
 

ඉතින් ..මෙතෙක් නොකියවපු අයගෙන් ඉල්ලා සිටීමට කැමතියි .. හොයාගෙන කියවන ලෙසසහ මේ ගැන අදහස් ඉදිරිපත් කරන ලෙස.

පළමුවන මුද්‍රණය   2011

දෙවන මුද්‍රණය       2012

ප්‍රකාශනය              සරසවි ප්‍රකාශකයෝ

පිට කවරය            සමන් ඉන්දික

I S B N                   978 – 955 – 671 – 460 - 9

මිළ රුපියල්          425/-

 

Saturday, November 3, 2012

සැබෑ මිනිසෙකුගේ කතාවක් ...




 
අද මම කියන්න යන්නෙ ... පරණ වුනත් .... හුඟක් හොඳ පොතක් ගැනයි. අපි අතර ඉන්න බොහෝ දෙනක් මේක කියවලත් ඇති. 
 [ පසුගිය දා තිබුන පොත් ප්‍රදර්ශනයෙදි මේක නැවත අරගත්තා]
 
 

මේ පොත ගැන මට විශෙෂයෙන් ම කියන්න ඕන කළේ .... මම උත්සාහවන්ත එකෙක් බවට පත් වුනෙ මේක කියෙව්වට පස්සෙ නිසයි.

මෙහි එන කතා නායකයා තමන්ගෙ අරමුණ මුදුන් පමුණුවාගැනීමට ගන්න වෙහෙස මහන්සිය .. එතකොට ඒ වෙනුවෙන් කරන කැපවීම .. ඉවසීමෙන් කටයුතු කරගනිමින් ජයග්‍රහණය කරා ගමන්කිරීම දකිනකොට කියවන අපටත් ඒක ජයග්‍රහණයක් ම වෙනවා.

ඒ කාලෙ මම ඕ ලෙවල් ඇනගෙනයි හිටියෙ .. පළවෙනි වතාවෙ ම  එහෙම වුනාම ඕනම කෙනෙක් කළකිරිලා .. ටිකක් විතර උදාසීන වෙලානෙ ඉන්නෙ.. ඉතින් ඔය අතරෙදි තමයි මට මේ පොත කියවන්න ලැබෙන්නෙ. මේක කියෙව්වට පස්සෙ පුදුමාකාර විදිහට මම දහිරියමත් වෙනවා ...  එයාට ඒක කරන්න පුලුවන් නම් ඇයි මට මේ පොඩි දේ කරගන්න බැරි ... කියන මතයට මම එනවා. .. නැවත මම විභාගෙ ලියනවා ...
[ඇත්තටම ඔහු කරපු දේ එක්ක සසඳනකොට විභාගෙ කියන්නෙ පොඩි දෙයක්]

ඉතින් මම ජයග්‍රහණය කරනවා.  ඒ විතරක් නෙවේ ... ඊට පස්සෙත් හුඟක් වෙලාවල් වලදි මේ පොත මට ඒ විදිහට උදව් කරල තියෙනවා.

 [මේ පොත මේ විදිහට ම තව බොහෝ දෙනෙකුට පිහිටවෙලා තියෙන බව මට පසු කාලීනව දැනගන්න ලැබුනා]

මං හිතන්නෙ ඒකට එක හේතුවක් තමයි මේක මේ ලෝකෙ සිද්දවුන සැබෑම කතාවක් වීම.

අනික තමයි .. මේ පොත දැදිගම වී රුද්‍රිගු මහතා විසින් කෙලින් ම රුසියානු භාෂාවෙන් .. අපේ භාෂාවට .. කතා රසය නොනැසෙන සේ පරිවර්තනය කොට තිබීම.  

[1960 සිට 1988 දක්වා අවුරුදු විසි අටක් ම එතුමා රුසියාවෙම සිටි නිසා .. එම භාෂාව පිළිබඳව මනා පරිචයක් ලැබීම ඒකට  හේතු වෙන්නත් ඇති]
 

හුඟක් හොඳ පොතක්.

ඒ නිසා .. කියවපු නැති අය ඉන්නවනම් .. හොයාගෙන කියවල බලන්න ය කියල ඉල්ලා සිටීමට කැමතියි.

 

ලිව්වේ .. රුසියානු ලේඛක බරීස් පලවොයි විසින් ..

පරිවර්තනය  දැදිගම . වී. රුද්‍රිගු

ප්‍රකාශනය ... එස්. ගොඩගේ සහ සහෝදරයෝ

I S B N  978 – 955 – 30 – 1399 – 6

මිළ රුපියල්  500