Powered By Blogger

Saturday, July 16, 2011

''සෝබන වේල් පට''


මේ පොත නම් ටිකක් පරණ එකක්. නමුත් සමර්සෙට් මෝම්ගෙ හොඳ කතාවක්. ''Painted Veil'' කියන පොත  ''සෝබන වේල් පට'' යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ .. දොස්තර මහතෙකු වූ ඩබ්ලිව්.පී. සෙනෙවිරත්නයන් විසිනි. නමුත් අවාසනාවකට පොතේ වැඩ අවසන් කොට මුද්‍රණය  කිරීමට පෙර එතුමා මිය ගියාලු. ඉන්පසු ඔහුගේ මිතුරෙකු වන පී. ඒ. රන්වත්ත මහතා විසින් ඉතිරි වැඩ ටික සකස් කොට මුද්‍රණය කළාලු.


පළමු මුද්‍රණය 2001 සැප්තැම්බර් මාසෙ තමයි කරල තියෙන්නෙ.
මේ පොත කියවගෙන යත්දි .. තවත් පොත ගණනාවක් මට මතක් වුනා. ඉස්සෙල්ලම මතකයට ආවෙ ''වදරින් හයිට්ස්' එකේ හීත්ක්ලිප් ව. ඔහුනම් ඉතින් ලෙඩා නිසා මේකට ගැළපෙන්නෙ නෑ.[අනික ඔහු විවාහ වෙල හිටියෙත් නෑනෙ]
ඊලඟට ''කන්ද පාමුල'' එකේ ජපනා. ''සුභා'' නව කතාවෙ මහින්ද ... කොටින්ම එමා බොවරිත් මතක් වුනා.


සැමියන්ගෙ තියෙන යම් යම් දුර්වලතා නිසා වරදට පෙළඹෙන ගැහැණු ලෝකෙ අනන්තයි. නමුත් පුදුමයට කරුණ වන්නෙ මේ සැමියො කියන ජාතිය තමන්ගෙ දුර්වලකම් පිළි ගන්නෙ නැති එකයි.
නමුත් මේකෙදි නම් බිරිඳ තම සැමියා සමග චීනයට ගොස් බොහෝ දුක් විඳියි. [දඬුවමක් වශයෙන්] එහිදී ඇය තමා කළ වරදට පසුතැවිලි වීමට පටන් ගනී.එසේ වුවත් මරණ මංචකයේදීවත් සැමියාගෙන් සමාව නොලැබේ.


ඉතින් ඔයගොල්ලොත් කියවලා බලන්න. මිනිස්කම ගැන ඉගෙන ගැනීමට කදිම පොතක්.

I S B N  955 – 8425 – 41 - 9


Monday, July 4, 2011

''The green wind''



මේ දවස්වල කියවපු පොත තමයි මේ තියෙන්නෙ.. මේකත් පරිවර්තන කෘතියක්. තර්ලි පවුලර් විසින් ලියන ලද ''The Green  Wind''  කියන පොත සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නෙ අපේ ප්‍රියංකා කහවණුගොඩ මහත්මිය විසින්.


මේ පොත පිළිබඳව පරිවර්තිකාව විසින්ම පොඩි විස්තරයක් කරනු ලබනව.
'' මෙය 1948 වසරේ ඕස්ට්‍රෙලියාවෙ ගම්බද පළාතක  .. ගොවි පවුලක ජීවිතය පිළිබඳ විස්තරයකි. අද මෙන් සියලු පහසුකම්වලින් යුතු රටක් නොවූ .. එකල  ඕස්ට්‍රෙලියාවේ ගොවියන් අවම මූලික පහසුකම් හෝ ලබාගන්නට කරන උත්සාහයත් .. ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අභියෝගත් මෙ මගින් හෙළිදරව් කෙරේ. ඒවාට මුහුණ දෙමින් සම වයසේ යොවුන් දරු දැරියන් හතර දෙනෙක් සිය ජීවිත සකස් කරගන්නා ආකාරය මේ පොතෙන් අපූරුවට ඉදිරිපත් කෙරේ.''
ප්‍රියංකා මෙසේද කියයි.
''ඉංග්‍රීසි , රුසියානු , ප්‍රංශ ..ඉන්දියානු , වැනි විවිධ සාහිත්‍ය කෘතීන් නිතරම සිංහලට පරිවර්තනය වී ඇති වුවත් ඕස්ට්‍රෙලියානු කෘතීන් පරිවර්තනය වී නැති තරම්ය. අපට ආගන්තුක ඕස්ට්‍රෙලියානු සාහිත්‍යයට පිවිසෙන්නට මෙය කදිම මාවතක් වනු ඇතැයි සිතමි.''
මෙම කෘතියේ කතුවරිය වූ තර්ලි පවුලර් දරු තිදෙනෙකුගේ මවක මෙන්ම මුණුබුරන් දෙදෙනෙකුගේ අත්තම්මා කෙනෙකුද වෙයි.


මේ පොත සඳහා 1986 දී  එම රටේ පැවැත්වූ වාර්ෂික පොත් සම්මාන උලෙලේදී හොඳම පොතට හිමි සම්මානය හිමි විය.
ඉතින් .. කියවපු නැති හැමෝම අරගෙන කියවලා බලන්න.
මේක නම් මම කාටවත්ම දෙන්නේ නෑ කියලා හිතුවා. මොකටද නිකම් විහින් ලැජ්ජ වෙන්නෙ.

I S B N   955 – 1387 – 30 - 9