Powered By Blogger

Thursday, January 6, 2011

''සරාගී''


අද ඔය ගොල්ලොන්ට කියන්න යන්නේ පරණ වුනත් ඉතාම හොඳ පරිවර්තන කෘතියක් පිළිබඳවයි.
මෙහි මුල්ම කතාව ලියන ලද්දේ 1967 දී ප්‍රංශ ජාතික නව කතා කරුවෙකු වූ Emile Zola  විසිනි.
එහි නම Therese  Raquin  වීය. මෙය එකල ප්‍රංශයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව කියැවේ.
කොටින්ම එය ඔහුගේ රැකියාවටද බල පෑ අතර තමා ජීවත් වූ ගමෙන් පවා පිටුවහල් වීමට බල කරනු ලැබිණි.
ඉතින් මේ මා හැඟි පොත ප්‍රේමරංජිත් තිලකරත්න මහතා විසින්   ''සරාගී''  නමින් අපේ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 2006 දී ප්‍රකාශයට පත් විය.

මේ කතාව කියවන විට අපට බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාළ .... මේ ආත්මයේම පලදෙන අකුශල කර්ම පිළිබඳව සිහිපත් වීම නොවැලැක්විය හැකි දෙයකි.
කාමයෙන් අන්ධව මනුෂ්‍යඝාතනයක යෙදෙන තෙරේස් සහ ලෝරන්ස් ඉන්පසුව විඳවන මානසික විඳවිල්ල දකින මට සිහිපත් වෙන්නේ අපේ ජී.බී. සේනානායක ශූරීන් විසින් ලියන ලද ''මළ පුඩුව'' නැමැති නව කතාවයි. [මට හරියටම මතක නෑ ඒක ''මළ පුඩුව'' ද කියල. මං හිතනව ඒක තමයි. නැතිනම් කට්ටිය මට බනීවි බොරු ලියනව කියල ... විශේෂයෙන්  ''වත්''.
ඒකෙත් අවසානයේදි ඒ යුවල මහත් දුකක් විඳ තම දිවි නසා ගනිති. පොඩි වෙනසකට තියෙන්නෙ ලෝරන්ස් සහ තෙරේස් මරන්නෙ ඇත්ත ස්වාමියා. ''මළ පුඩුවෙහි මරන්නෙ හොර ස්වාමියා. නමුත් පසු තැවිල්ල එකමයි.

ටිකක් පරණ වුනත් හොඳ පොතක් .. කියවල නැති හැමෝම කියවලා බලන්න.

''පාළම''


අද මට තරමක් මෑත කාලයේ  ප්‍රකාශයට පත් කල නව කතාවක් කියවන්නට ලැබුණා.
ඒ තමා ''පාළම'' කියන පොත.
මේක ප්‍රකාශයට පත්වෙලා තියෙන්නෙ සරසවි පොතක් වශයෙන් .. 2009 දි.
ලියල තියෙන්නෙ නම්  පී.ඩී. අබේපාල කියල මහත්මයෙක් විසිනුයි.


අවුරුදු  තිස්පහකට පමණ පෙර එක්තරා නොදියුණු ගමක ජීවත්ව සිටි සැබෑ චරිතයක් පාදක කොටගෙන ලියා ඇති මෙය ... සුරා පානයත් , එහි ඇති ආදීනවත් ලොවට හෙළි කරන්නකි.
පොත පිළිබඳව කතුවරයා මෙසේ පවසයි....

'' මෙහි දැක්වෙන පුංචිහාමිගේ චරිතය ගොඩනැගීමේදී ඇගේ සැබෑ චරිතයත් .. රැකියාවත් .. ඇය නිතර ඇසුරු කළ පුද්ගලයින්ගේ හැදියාවත් .. සැලකිල්ලට ගත් කල ,  සැබැවින්ම තිබිය යුතු ඇයගේ වාග් මාලාව මුද්‍රණයට සුදුසු පරිදි වෙනස් කිරීමට මට සිදු විය.
මෙම කතා පුවත කියවීමෙන් අල්ප මාත්‍ර  වූ සමාජ ශෝධනයක් වේවා යයි මගේ පැතුමයි.''




හොඳයි ඉතින් එහෙනම් ... අපේ පැතුමත් ඒකමයි.

හැමෝම කියවලා බලන්න.

Monday, January 3, 2011

නවකතාවක් නොවූ පොතක්....



මේක නම් නව කතාවක් නොවෙයි. නමුත් ඊට වඩා හුඟක් වැදගත් පොතක්.
පී. ඇම්.සේනාරත්න මහතා විසින් සකස් කරන ලද්දක්. මෙහි ප්‍රථම මුද්‍රණය  2004  වර්ෂයේදීත් දෙවන මුද්‍රණය  2009  වසරේදීත් ප්‍ර‍කාශයට පත් කොට ඇත.
ශ්‍රී ලංකාවේ අභය භූමිවල සිරි නැරඹීමට කැමැත්තක් දක්වන හැමෝටම වැදගත් පොතක් වෙන , ඒ සඳහා අත් පොතක් වශයෙන් වුවද භාවිතා කිරීමට සුදුසු
 ''ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන’’
නැමැති පොතයි මේ.
මෙය ලියූ කාල වකවානුවේ සිටි වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු වූ .. එම්. එඩ්මන්ඩ් විල්සන් මහතා මේ පිළිබඳව මෙසේ පවසයි.

''ජාතික වනෝද්‍යානයකට පිවිසෙන අයෙකුට එහිදී දැක බලාගැනීමට හැකිවනුයේ එහි පවතින ස්වාභාවික චමත්කාරයෙන් සීමිත කොටසක් පමණි. ඊට අදාළ ඉතිහාසගත පසුබිම හා විද්‍යාත්මක වටිනාකම ගැන දැනුවත්වීම සඳහා අනිවාර්යයෙන් ම පොතපත කියවීම අවශ්‍ය වන්නේය.''

මේ පොතේ ශ්‍රී ලංකාවේ පවතින සියලුම වනෝද්‍යාන පිළිබඳ බොහෝ විස්තර අඩංගු වෙන අතර සිතියම් සහ ඡායාරූපද සහිතය.
එමතුද නොවේ ... වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාල සහ සියලුම වන අඩවි කාර්යාලවලද , උද්‍යාන භාරකරුවන්ගේද දුරකථන අංක පවා ඇතුලත්ය.

මේ පොත ගැන ලේඛකයා මෙසේ කියයි.

''මේ පොත ලිව්වේ පාසැල් දරුවන් උදෙසා වුවත් වැඩිහිටි පාඨකයාගේ දැනුම වර්ධනය කර ගැනීමටත්, වනෝද්‍යාන නරඹන්නන්ගේ අත් පොතක් ලෙසත්  .. මග එළිකර ගැනීමේ කාර්යය ඉටුවනු ඇතැයි සිතමි''

බොහොම හොඳ පොතක්.

ඉතින් .. මීලඟ සංචාරයට පෙර හැමෝම කියවලා යන්න කියා ඉල්ලා සිටිනවා.