මෙන්න තියෙනවා මම වගේම ලෝකෙ බොහෝ දෙනෙක් ආස කරන පොතක්..
මේක මම බොහෝ වාරයක් කියවපු පොතක්.
කියවල ඉවරවෙල ටිකක් කල් ගිහින් .. ආපසු කියවන්න පුලුවන් අලුත් පොතක් හැටියට. කෙදිනකවත් එපා නොවෙන පොතක්. මං හිතන්නෙ ලෝකෙ පුරාම ගත්තත් එහෙම පොත් තියෙන්නෙ ස්වල්පයයි.
ඒ තමයි ඇලෙක්සැන්දර දියුමා විසින් රචිත…..
'' මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා'' [ ''The Count of Monte Cristo''] කියන පොත.
මේ පොතේ රසය වැඩි වෙන්න එක හේතුවක් තමයි... මේක පරිවර්තනය කරපු කේ.ජී. කරුණාතිලක මහත්තයා ඉතාම විශිෂ්ඨ අන්දමින් එම කාර්යය ඉටු කොට තිබීම.
මේ කතාවම තව කෙනෙකුත් පරිවර්තනය කරල තියෙනවා මුලු කතාවම එක පොතකට '' සිටුවර මොන්ත ක්‍රිස්තෝ'' යන නමින්.
[ඒක නම් මට එච්චරම ඇල්ලුවෙනෑ. ]
එතුමාගෙ පරිවර්තන කෘතිවල මුල් පිටු අතරෙ මම ඉතාම ආස කරන වචනයක් තිබෙනව. ඒ තමයි ''අසංක්ෂිප්ත'' කියන වචනය. ඇත්තටම ඕනම කතාවක් පරිවර්තනයෙදි සංක්ෂිප්ත කරල කෙටි කරනවනම් එහි ගතයුත්තක් නැති බවයි මගේ වැටහීම.
ඒ කාලෙ මේ පොත එතුමා පරිවර්තනය කළේ කොටස් වශයෙන්. ඒ මොකද ... කීවොත් කතාව ඒ තරම් ම දිගයි. ඊලඟ කොටස නිකුත් වෙනකම් අපි හරිම නොයිවසිලිමත්.
සමහරු ලියුම් දානව ... කෝ... මීලඟ කොටස... ඉක්මනට දාන්න.. කියමින්.
තව සමහරු ටෙලිපෝන් කරල අහනව. ඉතින් එතුමට සිද්ධ වුනා ඊලඟ පොතේ ''පෙර වදන'' කොටසෙහි සඳහන් කරන්න... පිළිවෙලට දානකම් ඉවසාගෙන සිටින ලෙස.
කියවන්නො අතරෙ මේක ඒ තරම් ජනප්‍රිය වුනා.
අපිට ඒ කාලෙ පොත් ගන්න සල්ලි නෑ. අපි ඉතින් පුස්තකාලයට රබර් ඇහැ දාගෙනයි ඉන්නෙ ඊලඟ පොත පාත් වෙනකම්. එතනත් හරි පොරයක්. පිටපත් දෙකයි එවන්නෙ. සමහරවිට මට පොත ලැබෙන්නෙ පස්වෙනියට හෝ හයවෙනියට.
ඒ අවදියෙ හැමෝම වගෙ කියවීමට ටිකක් නැඹුරුයි. පාසැල් දරුවන් පවා. ඇයි ඉතින් වෙන විනෝදාංශ අඩුයි නේ. පාසැල ඉවරවුන ගමන්ම ඔය උපකාරක පංති වලට දුවන සෙල්ලමත් තිබුනෙ නෑනේ. අපි ඉස්කෝලෙ ඉවරවෙලා ඇවිත් කෑවත් නැතත් .. දෙක විතර වෙනකොට පුස්තකාලෙට එනව. ඒක වහන්නෙ හතරහමාරට. වහනකම්ම මොනව හරි කියවන එක තමා වැඩේ.
මං හිතන්නෙ ඒ හින්දම තමා පරණ එව්වොන්ට... ගණිත විෂයයන් කළත් විද්‍යා විෂයයන් කළත් ... සාහිත්‍යය කියන එකේ රසය විඳ ගැනීමට තවමත් හැකියාවක් තියෙන්නෙ.
අද ලිපිය දිග වැඩිද මංද ... පොත ගැන ලියන්න ගිහින් පිටස්තර දේවල්නෙ ලියවුනෙ.
කොහොම වුනත් කමක් නෑ.. මේ කතාව කියවපු නැති අය කියවල බලන්න කියා ඉල්ලා හිටිනවා.. කියවපු අය නැවත කියෙව්වත් ඇති වැරැද්දකුත් නෑ.
කතාව කොටස් හයකින් යුක්තයි.