Powered By Blogger

Thursday, October 18, 2012

බැඳිම් කෙතරම් චමත්කාරද?



ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"
පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.
සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.
දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.

"
තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.
මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.
මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"
ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"

"
අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.


"
හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.

"
ඔවු...මට ගොඩක් රිදෙනවා"

"
පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද
?"

"
ඔව්
"

"
එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.

එදා පටන් මගේ සියලුම ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.

"
ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"

"
ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ
?"

"
අපිට පියාඹන්න බැරි ඇයි
?"

"
මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද
?"ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.
දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.

"
ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.
මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති.
"
පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
"
ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"මගේ අධ්‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.

වසරින් වසර ගෙවී ගියා මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.
අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.

"
තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,

"
මගේ ඇගිල්ල තුවාල උනා...
"ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,

"
ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්
"මම මහ හඩින් සිනා සුනා.

"
ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"

"
මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.

අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.

"
නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.

සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි.

"
තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.

"
මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.

"
ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.

"
ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.

"
මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා

"
මහත්මයා ඔබේ නම පෝල්ද?"

"
ඔව්" මම සෙමින් පැවසුවා.


"
ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.
දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා

"
පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද
මේක මම ලියපු එකක් එහෙම නෙවෙයි .. මට ඊ මේල් එකක ආපු එකක්.
ලියූ කෙනාගෙ නම සඳහන් වෙලා නෑ ..
නමුත් මේක මගෙ හිතට තදින් දැනුනා ... මං හිතන්නෙ මමත් මේ වගෙ බැඳීමක් දැන් බිඳගෙන ඉන්න නිසා වෙන්න ඇති. [මේ විදිහෙම නොවුනත් මීට හුඟක් ම සමානයි]
මේ වගෙ බැඳීම් ඇතිවීම ස්වාභාවිකයි කියල මට හිතෙනව. නමුත් ඒ බැඳීම බිඳී ගියාම නම් දරාගන්න අමාරුයි.

[කවුරු හරි මීට කලින් මේක සිංඩියෙ දාල තියෙනව නම් සමාවෙන්න ඕන]



Saturday, September 29, 2012

සිටුවර පුවත ….



 

අද මම ලියන්න යන්නෙ විශේෂ වූ පොතක් ගැන.

මේ පොත තමයි ... මේ වසරෙ.... එනම් 2012 වසරෙ ... ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ඨතම නවකතාව කියල කියන්නෙ.
 

මේක ලියල තියෙන්නෙ රූපා ශ්‍රියානි ඒකනායක මහත්මිය විසිනුයි. කතුවරිය මීට පෙර ළමා කතා ...කෙටිකතා ..සහ නවකතා .. කීපයක් ම ලියල තියෙන කෙනෙක්. මීට පෙර වසරක ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූ ''තරු බඹසර'' කියන පොත ලිව්වෙත් ඈ තමයි.
 
මීට අමතරව ''දුටිම් නෙතින් කසුප් නිරින්ද්'' කියල පොතකුත් ලියල තියෙනව. ඒකට ගොඩගේ සම්මාන උළෙලේදී සම සම්මානය හිමිවුනා.

මේ නවකතාවෙ මම දකින තවත් දෙයක් තමයි ... ප්‍රධාන චරිත දෙක .. එනම් පණ්ඩුල සහ  සරළා ... මාරුවෙන් මාරුවට උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් තම කතාව ඉදිරිපත් කිරීම. සමහර අවස්ථාවල මෙය පාපොච්චාරණයක ස්වරූපය ගනියි.
 


පොත අවසන් කරල තියෙන විදිහ මගේ සිත් ගත්තා වුනත් ...

සමස්තයක් විදිහට බැලුවම මේක ගැන මගේ එච්චරම පැහැදීමක් නම් නෑ.

එහෙම කිව්ව කියල ඔයගොල්ලො නොබල ඉන්න එපා.

 [ඒක ඉතින් මගෙ පෞද්ගලික අදහසනෙ]

ඔයාලත් කියවල මේ පොත ගැන අදහස් දක්වනව නම් මම වඩාත් කැමතියි.
පොත පිළිබඳව පොඩි විවේචන දෙකකුත් ලියල තියෙනව දිවයින පත්තරේ .. සුලෝචන වික්‍රමසිංහ මහතා සහ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා විසින්.
ඒකත් කියවලා බලන්න.
                                  ඡායාරූප මත ක්ලික් කිරීමෙන් විශාල කර බැලිය හැක.
පළමු මුද්‍රණය    2011

දෙවන මුද්‍රණය   2012

 ISBN  978 - 955 - 656 - 197 - 5

සූරිය ප්‍රකාශකයින් ගේ පොතක්.

[ මේ පොත් ගැන ලියද්දි මට අමතක කරන්න ම බැරි කෙනෙක් තමයි අපේ '' ඔබා මලය ''.   මගේ පොත් පිළිබඳ විස්තර මහත් ආශාවෙන් කියවපු කෙනෙක්. ඔහු දැන් කොහේ ඇත්ද ...?

කොහේ හිටියත් ඔහුට සුගතියක් ම වේවා යි පතමි]


 

Tuesday, September 25, 2012

මමත් ගියෙමි .. නුඹලා ව ගන්නට ...



 
නුඹලා  වනාහි කුඩා කල සිටම මාගේ සුහද මිතුරෝ වන්නා හ. මම නුඹලා ට  බොහෝ ආදරේ කරන්නා සේම නුඹලා ත්  මටද එසේ ම ආදරේ බව මම දනිමි. කෙල්ලන්ගේ .. හෝ තරුණියන් ගේ .. එහෙමත් නැතිනම් ගැහැණුන් ගේ කසිකබල් ආදරයට වඩා එය කෙතරම් මිහිරි ද ..?
සැබෑ මිතුරියන් යැයි අප සිතාගෙන සිටින කෙළෙහිගුණ නොදත් අකෘතඥ මිතුරියක ගේ මිතුරුකමට වඩා එය මොන තරම් විශ්වාස වන්තයි ද ...?
නිතර ම හොඳ යහලුවන් සේ නුඹලා ව  ආශ්‍රය කරන්නෝ එය මැනවින් දන්නාහු ය.
නුඹලා ගෙන් කෙනෙකු  රැගෙන නුඹ තුළට ගිලා බැස්ස විට අපේ සිත්සතන් වල ඇතිවෙන සියලු දුඃඛ දෝමනස්සයන් වියැකී යයි.
යම් මිතුරෙකු ගේ හෝ මිතුරියක ගේ වෙනස්කමක් හෝ යම් අකටයුතුකමක් නිසා හෝ සිත තුවාළ වී ඇති කල් හි මෙය මාහැඟි ඔසුවක් වන බව මට ඉත්තේරුවෙන් ම කිව හැකිය.
එබඳු සිත් පෑරවීම්  නිසා දෑසේ මතුවන ලුණුරස සහිත  දියරය වළකාලීමට ද  නුඹලා උපන් හපන්කම් ඇත්තවුන්ය.
මා නුඹලා ට බෙහෙවින් ගරු කරන්නේ ත් .. ආදරය කරන්නේ ත් .. එබැවිනි. අහෝ .. මාගේ ආදරණීයයන් වූ නුඹලා  ... මට මැරෙන තුරාවටම එසේ ම සැළකුව මැන ව.
 

ඉතින් .. මේ නුඹලා කීප දෙනෙකු අලුතෙන් ලබා ගැනීම පිණිස මමත් අද B.M.I.C.H. බලා ගියෙමි. පහත පළකොට ඇත්තේ ඒවායේ සේයා රූ කීපයකි.
 

වසරේ හොඳම එක වශයෙන් නිර්දේශ වූ [2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව වූ] ''සිටුවර පුවත'' මම දැන් කියවමින් හිඳින්නෙමි. මෙය හැම ස්ටෝල් එකකම වාගේ අවසන් වී තිබුණ බැවින් .. එකක් සොයා ගත්තේ අමාරුවෙනි.
 

පෙනෙන විදිහට නම් එතරම් රසවත් භාවයක් තවම නොදැනේ. කියවා අවසන් වූ පසුව ඒ පිළිබඳව අටුවාවක් ලිවීමට අදහස් කරගෙන සිටිමි.

පසුගිය වසරවල තරම්ම සෙනගක් මා දුටුවේ නැත. මා එහි ගිය වෙලාව අනුව එසේ වූවා විය හැකියි. නමුත් විජේසූරිය මහතා ගෙ ස්ටෝල් එකේ නම් සෙනග උතුරා යන තරම්. සමහරවිට ඔහුගෙ පොත් හොඳ නිසා වෙන්නත් පුලුවෙනි.. නැතිනම් අනෙක් තැන්වල 20% අඩුකරන විට  මෙහි 30% ක් අඩුකර විකිණීම නිසා වෙන්නත් පුලුවෙනි.
 

මීට අමතරව ''සරසවි'' එකේ එතකොට ''දයාවංශ ජයකොඩි'' එකේ ත් එබඳු තත්වයක් තිබුණි.

මෙහි තවත් මාගේ සිත්ගත් තැනක් වූයේ ''ගුරු ගෙදර'' යි. පොත් කතුවරුන් හා කතුවරියන් සමග අප වැනි පාඨකයන් සම්බන්ධ කරලීම එහි අරමුණයි. අපට ඔවුන්ගෙන් විමසීමට පුලුවන් .. ඔහුගේ හෝ ඇයගේ පොත ලිවීමේදී මතු වූ ගැටලු පිළිබඳ ව සහ එය ලිවීමට හේතු වූ කාරණා ආදිය ගැන. මේ සාකච්චා ඉතාම සුහදව ගලාගෙන ගිය අතර හැමෝම එය අගය කළා.
 

මා හරියටම දන්නේ නෑ මෙවරත් ප්‍රදර්ශනය 30 වෙනිදා විතර වෙනකම් දීර්ඝ කරනවා ද යන්න පිළිබඳව. සමහරවිට එසේ නොකරන්නත් පුලුවන්. ඒ නිසා .. මම කැමතියි මෙතෙක් නොගිය උදවියගෙන් ඉල්ලා සිටීමට ... ඉක්මණින්ම ගොස් එයට සහභාගි වෙන ලෙස.


මේ තියෙන්නෙ මම ගත්ත පොත් ටික

 

 

Monday, September 24, 2012

මගෙ සියවෙනි ලිපිය ..


අද මම ලියන්න යන්නෙ මගෙ සියවෙනි ලිපිය .. ලිපි සීයක් ලියන්න මම කල් ගත්ත හොඳටම වැඩියි කියලයි හිතෙන්නෙ. ඉදිරියෙදි මම මීට වඩා වේගවත් වෙන්න උත්සාහ කරන්න ඕන .. කියල හිතුවා.
ඉතින් මේ සියවෙනි ලිපිය විදිහට ශ්‍රී ලංකාවෙ ඓතිහාසික වැදගත් කමක් තියෙන පුරාණ පන්සලක් පිළිබඳව ලියන්න ලැබීමත් එක්තරා විදිහක සතුටක්. මේ පන්සල පිහිටා තියෙන්නෙ හික්කඩුව ප්‍රදේශයෙ ... සමහරු නම් දන්නවත් ඇති .. ඒ වගෙම ගිහිල්ල වැඳ පුදාගෙනත් ඇති.
කොළඹ සහ ගාල්ල අතර මහා මාර්ගයේ .. 58 වෙනි කිලෝමීටරය  අසළින් පිහිටි ''සැළලිහිණි''  නාමපුවරුව ලඟින් හැරී ගොඩ පැත්තට කිලෝමීටර භාගයක් ගිය තැන හමුවන්නේ තොටගමු රන්පත් මහා විහාරයයි. [ තෙල්වත්ත රජමහ විහාරය නමින් ද හැඳින්වේ ]

පන්සල් භූමිය

මහා වංශයේ මෙම ස්ථානය සඳහන් වෙන්නෙ ''තිත්ථගාම'' හෙවත් .. ''තීර්ථග්‍රාම'' යනුවෙන්.
එය දකුණු පළාතේ .. ගාලු දිස්ත්‍රික්කයේ .. හික්කඩුව ප්‍රාදේශීය සභාවට අයත්ය.
මේ පන්සල අවට තියෙන විශෙෂ ම දෙයක් තමයි එම ප්‍රදේශය තදින්ම සුනාමියට ගොදුරු වූ තැනක් වීම. ඒක අපිට මතක් වෙන අමිහිරි මතකයක්. [තෙල්වත්ත .. පෑරළිය .. වැනි වචන ඇහෙනකොට මතක්වෙනව ඇතිනෙ හැමෝටම]
එදා සමස්ත ධරණි තලයම විශ්මයට පත්කරමින් .. ''සව්සත කෙල පැමිණි ... සියල් වියතුන්ට සිළුමිණි'' යන විරුදාවලිය දිනාගත් තොටගමුවේ  ශ්‍රී රාහුල හිමිපාණන් වැඩසිටි .. එසේම ''ශ්‍රී විජයබා පිරිවෙන'' යනුවෙන්ද ලොව පුරා ප්‍රසිද්ධ වූ ස්ථානය මෙයයි.  [මෙකල වැඩිදෙනෙක් නොදන්නවා වුනත්]
එකල මෙය කොතරම් බලවත් ස්ථානයක් වූවේද යත් .. රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා මෙම ප්‍රදේශය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කළහ. එයට සාධක වශයෙන්  '' තෙල්වත්තේ අභය ස්ථානය .. වෙඩි තැබීම තහනම්''  යන ත්‍රිවිධ භාෂාවෙන් සමන්විත නාමපුවරු ගෙනහැර දැක්වීමට පුලුවන්.
[අද වනවිට ඒවායින් ඉතිරිව ඇත්තේ ..මීටියාගොඩ , කිරළගහවෙල මංසන්ධිය අසළ ඇති නාම පුවරුව පමණි]
එපමණක් නොව මේ සුදු පාලකයෝ .. 1938 දී මෙහි විහාර කටයුතු සඳහා රුපියල් 30,000 ක මුදලක් ද වෙන්කර දී තිබේ. ඒ වගෙ කාලෙක මේ මුදල කොයි තරම් විශාල මුදලක් වෙන්නට ඇති ද ...?
බුදු දහමට නිතරම බැටේ දීමට මාන බලන මේ සුද්දෝ .. ඒ  ආකාරයට කටයුතු කිරීමෙන් ම පෙනී යනවා .. මේ පන්සල ඒ කාලයේ කොතරම් බලයක් ප්‍රදේශය පුරා පතුරුවාගෙන හිටියාද කියන එක.
ඒ වගෙම තමයි .. මේ විජයබා පිරිවෙන ඒ කාලයේ පැවතිල තියෙන්නෙ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක තත්වයෙනුයි. විදේශීය සිසුන් හුඟ දෙනෙක් මෙහි ඉගෙනුම ලැබූ බවත් සඳහන්.
සාහිත්‍යය ගැන කතා කිරීමේදී ...පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය , කාව්‍යශේඛරය , වැනි කාව්‍ය රචනා ද ... පංචිකා ප්‍රදීපය , බුද්ධ ගජ්ජය , බුද්ධිප්පසාධිනී .. ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථ ද මෙහි නිර්මාණ වන්නේය.
මේ අවට ග්‍රාම නම් හැදුන විදිහත් අපූරුයි. මේ විහාර කර්මාන්තය උදෙසා හුණු ලබා ගැනීමට සිප්පි කඩා ගත් ස්ථානය .. සිප්පි-කැඩුව .. සිප්-කැඩුව ..  සිප්කඩුව .. හිප්කඩුව .. අන්තිමේදි හික්කඩුව වෙලා තියෙනව.
මේ විදිහටම මෙහි ඉගෙනුම ලැබූ දෙස් විදෙස් ශිෂ්‍යයන්ට අවශ්‍ය ආහාර පාන .. විශේෂයෙන් සහල් සහ බත සැපයූ ගම බද්දේගම ලෙසින්ද ..සීනි සැපයූ ගම සීනිගම යනුවෙන්ද .. විහාරයට අවශ්‍ය පෙරහන්කඩ සැපයීම නිසා එගම පෑරලිය වශයෙන් ද .. එදා විදුලි ආලෝකය නොමැති නිසා පිරිවෙන් භූමිය ආලෝකමත් කරගැනීමට අවශ්‍ය මී ඉටි සැපයූ ගම මීටියාගොඩ වශයෙන් ද හඳුන්වා ඇත.
රාහුල හිමියන් ගේ පිළිරුව

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳවද බොහෝ ජනප්‍රවාද තිබෙයි. රාහුල හිමියන් ව මහණ කිරීම සඳහා සොයගත් අන්දමද මින් එකකි.
වරක් තොටගමුවේ වීදාගම හිමියන් යම් උවමනාවකට ගම හරහා ඩඩිමින් සිටියහ. එසේ වඩින අතරේ එක්තරා ගමගෙදරක... ඉතා රුවැති ස්ත්‍රියක් මිදුලේ සහල් ගරමින් සිටිනු දුටහ. වීදාගම හිමියෝත් දක්ෂ කවියෙකු බැවින් .. මේ රුවැත්තිය දුටු වහාම කවි පදයක් උන්වහන්සේ ගේ මුවින් නික්මුනේ නිතැතින්ම.
''සිහින් සිනිඳු සිනිඳු  ලොලේ ...
සිහින් ඉඟට ඇඳි        සේලේ ''….
වීදාගම හිමියන් තෙවැනි පදය කීමට පෙර වත්තේ ඉඳි කඩොල්ල අසළ සැඟවී සිටි පොඩි කොලුවා කට හඬ අවදි කළාලු මෙසේ.
''සහල් ගරන කත    මිදුලේ ...
දැක මහණෙක් ලොබය   කළේ ...''
පුදුමයෙන් කොලුවා දෙස බැලූ වීදාගම හිමියන් .. ලැජ්ජාවෙන් යුතුව එතැනින් පිට මං වූයේ .. '' මහණකමට නම් අපූරු කොලු පොඩ්ඩා'' යැයි සිතමින් ලු.
පසු කලෙක  තොටගමුවේ ශ්‍රී රාහුල යන නමින් පැවිදි වූයේ එම කොලුවා ලු.
ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව ගීත කීපයකුත් රචනා වෙලා තියෙනව.
එකක් තමයි එච්.ඩබ්. රූපසිංහ මයා ගායනා කරන ''ශ්‍රී රාහුල හිමිගේ නාමේ'' ගීතය. එය ප්‍රබන්ධ කර තියෙන්නෙ එස්. මහින්ද හිමියන් විසින්.
දෙවනි එක වෙන්නෙ .. ''තොටගමුවේ ස්වාමි රාහුල .. රාහුල සිහිවේ සැමදා ..''. එය රචනා කළේ ..ආතර්.ඇම්. ද අල්විස් මහතාය. ගායනා කරන්නේ .. පී.ඇල්. ඒ. සෝමපාල මහතා විසිනි.

එතුමා විසින් සිටවනු ලැබුවා යැයි සැළකෙන පැරණි අඹගස

ඉතින් .. හැමෝම දැක බලාගෙන වැඳ පුදා ගතයුතු පූජනීය ස්ථානයක් වෙන මේ තොටගමු විහාරය ගාලු පාරෙ යන අයට ඕන නම් ගිහිල්ල බලන්න පුලුවන්.

රාහුල හිමියන් කාලයක් වාසය කළ ආවාසය

[මෙහි එන සමහර උපුටා ගැනීම් .. සීනිගම මහානාම මංගලසිරි මහතා විසින් රචිත .. තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය නැමති ග්‍රන්ථය ආශ්‍රයෙනි]

Sunday, August 19, 2012

ගඟ මැද කඩේ




කලින් කිව්ව වගේ ... මාදු ගඟේ තියෙන කුඩාම දූපත දැක්කනේ.
තව මහ ගොඩක් දේවල් එහෙදි දැක්ක වුනත් ... [ඒව පස්සෙ ටික ටික කියන්නම්]
විශේෂයෙන් දැක්ක .. වැඩිය අපිට දකින්න හම්බවෙන්නෙ නැති දෙයක් ගැන කියන්නයි යන්නෙ. මාදු ගඟේ දැනට ගිහිල්ල තියෙන උදවිය මේක දැකලත් ඇති. සහ ගනුදෙනු කරලත් ඇති.


මේක තමයි ජලාශයක් මැද තියෙන ..[ශ්‍රී ලංකාවෙ] මම දැකපු එකම කඩේ.
[තව කොහෙ හරි තියෙනවද කියල මම හරියටම දන්නෙ නෑ]
ඔබ බඩු ගන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ඔරුවකින් හෝ බෝට්ටුවකින් යා යුතුයි. එහෙම යන්න අකමැති නම් පීනගෙන යන්නත් පුලුවන් ... [හැබැයි අර පාන් කන කිඹුලන්ගෙන් බේරිල .. හි .. හි ..]
මේ කඩේට මම දැකපු විදිහට ගනුදෙනු කරුවන්ගෙත් අඩුවකුත් නෑ ... හැබැයි ඒ හුඟ දෙනෙක් විදේශිකයො.


 [මං හිතන විදිහට ස්වදේශිකයො වැඩිය යන්නෙ නැත්තෙ .. මිළ ගණන් අධිකයි කියල හිතලද කියන්නත් බෑ ]
ඒ නැතත් .. ''තව ටිකකින් ගොඩට යනවනෙ. එතකොට ඕන දෙයක් ගන්න බැරියැ '' යන අදහසින් ඉන්න නිසාද කියල කියන්නත් බෑ.
කොහොම වුනත් .. ඔයාලත් මාදු ගඟ බලන්න යනවනම් ..  මේ අමුතු කඩේටත් ගොඩවෙලා බලන්න.
හරි අමුතු අත්දැකීමක් වෙනවා සිකුරුයි.



Saturday, August 18, 2012

පොඩිම දූපත




මේ තියෙන්නෙ ලංකාව ඇතුළත තියෙන ජලාශයක තිබෙන පොඩිම දූපතයි.
මේකට කියන්නෙ සත පහ දූපත කියලයි ...
අපිත් හිතුවෙ මේක සත පහක හැඩය ගත්ත නිසා ඒ නම දාල ඇති කියල වුනත් ...
පසුව දැනගන්න ලැබුණා ...පංසලක් එහෙම නැත්නම් දේවාළයක් වගේ එකක් හදවන්න මේක මිළ දී ගෙන තියෙන්නෙ සත පහක මුදලකට නිසා ඒ නම ලැබුණු බව.
පසුව ඒ අදහස වෙනස් වෙලා ඊට ටිකක් ලොකු දූපතක පංසල හදල තියෙනව. [නමුත් සතපහ දූපතේ නටබුන් තවම දකින්නට පුලුවන්]
මේ දූපත මාදු ගඟ මැද්දෙ තියෙන ලස්සන දූපත් වලින් එකක්.


කැමති අයට පීනගෙන ගිහිල්ල බලන්න පුලුවන් ... හැබැයි කිඹුලො ඉන්නවා ...ලු ...