Powered By Blogger

Sunday, December 25, 2011

ලෝකෙ තියෙන ලොකුම බර මොකක්ද ...?


මේ පුරස්නෙට එක එක අය එක එක උත්තර දෙයි ..
ඒ වුනාට සැබෑ බර මොකක්ද කියල දන්නෙ කීයෙන් කී දෙනාද ..?
මේ කතාව කියෙව්වම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.






ඒ කාලෙ අපි K  නගරයෙ ඉඳල C නගරය වෙත ආපු අලුතමයි. නැවතිලා හිටියෙ M  හෝටලයෙ. අනේ ලොකු කමටවත් සල්ලිකාර කමටවත් එහෙම නං නෙවෙයි.
අපේ ඔපීසිය ඒකෙ පවත්වාගෙන ගියපු හන්ද ඒකෙම නවාතැන් දීල තිබුණ වෙන බෝඩිමක් හොයාගෙන යනකම්. [ඔය හෝටලයෙ ඇතුලෙදිත් අපේ එවුන්ට හරි හරි වැඩ වුනා..ඒව පස්සෙ කියන්නම්]
ඉතින් ඕකෙ ජීවත්වුන කාලෙ අපිට හරිම ජොලි.මෙච්චර ලොකු නගරෙකට ආවාම බලන්න දේවල් මහ ගොඩයි.. නිකම් මැජික් වාගෙ. හැමදාම ලන්ච් වෙලාවෙ .. අපි නගරෙ ඇවිදින්න යනවා ... හි .. හි ... මේ පට්ට අවුවෙ.
එදත් සුපුරුදු පරිදි මාරයත් සමග එළියට බැස්සා නගරෙට යන්න. [මාරයා කිව්වම කළබල වෙන්න එපා. මේ කිව්වෙ අපේ බ්ලොග් ලියන මාරයා ගැන නෙවෙයි] අපෙ ඔෆිස් එකෙත් ඉන්නවා මාරයෙක්. හඳුනාගැනීමේ පහසුව තකා මිනිහට අපි පොඩි මාරෙ කියල කියමුකො.
අපි ඔන්න මග විසිතුරු බලමින් පයින්ම ඇවිදගෙන එනවා නගරෙ මැද්දෑව දිහාට. කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන පදික වේදිකාව හරියෙන් එනකොට මාරෙ මට කියනවා '' මචං ඕන්න එනවා ගෙන්දගම් ගඳ.. මෙහාට ගෙන්දගම් පොළොව කියල කියන්නෙ නිකමටයෑ'' කියල. අනේ මමත් ඉතින් කැරකිල වටේට ඉව කරල බැලුවා මේක ඇත්තද කියල. මොන මඟුලක් ද .. මට නම් ආවෙ මහ හඩු ගඳක්. මේ  නගරෙ මහ ජරා ගඳයිනෙ බං මම කිව්ව. දැන් අපි එතනින් වමට තිබුණ පාරට හැරිල ටිකක් දුර ගිහින් ඔය ප්‍රධාන වීදියට ආව. ඔය පාරෙ ඉස්සර තිබුන ''කුමාරසිංහ රේඩියෝ'' කියල එකක්. [දැන් ඒක එතන නෙවෙයි තියෙන්නෙ]
ඔතන පදික වේදිකාවෙ බිම ඉටිකොල එලාගෙන වෙළෙන්දො නොයෙකුත් අරුමෝසම් බඩු විකුණනව. අපිත් දැන් ඔතන තිබුන පොඩි ස්කුරුප්පු නියන් සෙට් එහෙම අතපත ගගා බලනව. මාරෙ එකක් ගත්තද ත් කොහෙද ...
ඔන්න ඔය වෙලාවෙදි තමයි කේස් එක එලියට ඇදෙන්නෙ. අව්වෙ දාඩිය පෙරාගෙන පයින් ආපු හින්දද .. එහෙම නැත්නම් හොටලේ තිබුණ අනවශ්‍ය කෑම බීම පෙරේතකමට වැඩිපුර කාල හිටපු හින්දද ..[ ඒ දවස්වල කෑම ඕන තරම්.අපි ඕකට ආපු ගමන්ම ඔය රූම් සර්විස් එකේ එකෙක් අපි එක්කල හොඳට යාලු වුනා ... ලෙනෝර කියල. [බොරු නමක් හරිය..]  හොටෙල් එකේ VIP  රූම්ස් තියෙනවනෙ. හැමෝම දන්නව ඇති ඒවට ඉස්තරම් විදිහට සළකන බව. හොඳම වර්ගවල පළතුරුද .. එතකොට හොඳම වර්ගවල චොකලට් ද .. ඒ කාමරවලට නිතරම සපයනව. ඒ වගෙම ඒව දවසකින් නැතිනම් දෙකකින් ඉවත් කරල අලුත් ඒව දානව. ඔය කාමරවලට එන ගෙස්ට් ල හුඟදෙනෙක් ඕව දිහා බලන්නෙවත් නෑ. කලාතුරකින් එකෙක් යන එන ගමන් මිදි ගෙඩියක් වගේ දෙයක් කටේ දාගත්තොත් මිසක. ඒ නිසා වැඩි හරිය එහෙම්ම ඉතුරුයි.ඉතින් ලෙනෝර කරන්නෙ අයින් කරන පළතුරුයි .. චොකලටුයි සේරම ලොකු කලුපාට පොලිතින් බෑග් එහෙම නැතිනම් ලොන්ඩරි බෑග් එකකට දාල [ඒක ගෝණියකට වඩා පොඩ්ඩක් විතර පොඩියි] අපිට ගෙනත් දෙන එක. අපි ඉතින් වහල තියෙන කාමරයකට ඕක අරන් ගිහින් පැළෙනකම් කනවා.[දෙවනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවයි අපේ ඔෆිස් එකෙන් කුලියට අරගෙන තිබුණ නිසා හිස් කාමර ඕන තරම් තිබුණා]
ඔන්න දැන් ආපහු අපි මාතෘකාවට එනවා. ඉතින් තද උණුසුම හින්ද නැතිනම් පෙරේතකමට කාපු හින්ද.. එහෙම නැතිනම් චොකලටුයි .. පළතුරුයි කලවම් වෙලා අප්සෙට් වෙලාද මන්ද .. මගෙ බඩ දැන් පෙරලීගෙන එනවා වගෙ දැනෙනෙනවා.. කවදාවත් නැතුව බඩේ කැක්කුමකුත් එනව වගේ.. මට එකපාරටම මතක් වුනේ හොටෙල් එකේ තියෙන සුපිරි අහවල් දේ කරන ස්තානය. ඒක මතකෙට ආවට පස්සෙ අමාරුව වැඩිවුනා වගෙ.මට දැන් ඕන ඉක්මනටම ආපහු යන්න. මම මාරෙ දිහාව බැලුවා..
මිනිහට වගේ වගක් නෑ.. තවම බඩු තෝරනව. මම කතා කළා .. '' මාරෙ .. අපි ආපහු යමුද...?''
''පොඩ්ඩක් හිටපංකො .. මොකද හදිසි ..'' මිනිහට හදිසියක් නෑ.[මට එතන ඕක විස්තර කර කර ඉන්ට වෙලවකුත් නෑ]
ඔය වෙලාවට ඉතින් ටිකක් තරහත් එනවනෙ.. මම ආපහු හැරිල යන්ට පිටත් වුනා. දැන් මම කඩාගෙන යනව. ටිකක් දුර ගිහින් හැරිල බැලුවම .. මාරෙත් එනව පස්සෙන්. මිහිහගෙ බැල්මෙ තිබුනෙ ප්‍රහේලිකාවක්. මූට මොකද මේ වුනේ කියල. මිනිහ මට අතින් සංඥා කරනව .. කියන්නෙ නවතින්න කියලයි.. මොන නැවතිලි ද ... මම ටිකක් දුර ගිහින් වමට හැරුන. ඒ පාර කලවර වෙන්නෙ කොටුව ස්ටේෂම අසලින්. මට තේරුනා දැන් හොටෙල් එකට යන්න කල් මදි කියල... මොකද .. ඒ කාලෙ ඔය ත්‍රී වීල් කියන ජාතිය නෑ. තිබුණත් වැඩිය නෑ.. අතරින් පතර එකක් දෙකක් තමයි තිබුනෙ. මම දැන් වේගයෙන් යනව. වේගයෙන් ඇවිදින හින්දද කොහෙද .. අර අමාරුව තවත් වැඩියි වාගෙ. දැන් දෙයියන්ට කිය කිය තමයි යන්නෙ.. ''අනෙ දෙයියනේ .. මට තව විනාඩි පහක් දෙන්න.. පාරෙ නම් මුකුත් වෙන්න දෙන්න එපා ..'' දැන් මම මේක ටිකක් අමතක වෙන්න එක එක උපක්‍රම බාවිතා කරනව. සිත වෙනතක් හැරවීම ... ඔව් .. ඒක තමයි කරන්න ඕන. මම කෙල්ලො ගැන කල්පනා කරන්න පටන් ගත්ත. ෂහ්.. එදා බස් එකේ එත්දි මුණ ගැහුන කෙල්ල නම් මාර ලස්සනයි ... ඒකිගෙ අතන මෙහෙම ඇති .. මෙතන මෙහෙම ඇති ... ෂිහ් .. මේ මඟුල හරියන්නෙ නෑ .. වාගෙ. හිත එකඟ කරගන්නම බෑ. අරකමයි ඔලුවට එන්නෙ. දැන් මට ස්ටේෂම පේනවා. ඔන්න දෙයියො දුන්න වගේ මට මතක් වුනා අහවල් මෙවුව එකක් ඕකෙ තියෙනව නේද කියල.  සංතෝසෙ වැඩිකමට අමාරුව අස්සෙන් මට හිනාවකුත් ගියා .. හරියට ක්ෂේමභූමියක් දැක්ක වාගෙ. මම ආපහු හැරිල බැලුවම .. මාරෙත් ලඟ ලඟ ම එනව… හති දාගෙන ..
මම වහාම පාර හරහ පැන්න. [ඒ කාලෙ පාර පනින්න පැය ගණන් බලන් ඉන්න ඕනෙ නෑ.. ]
ඉතින් මම පාර පැනල ස්ටේෂම දිහාට යනකොට මාරෙ හිතන්න ඇති මූට පිස්සු කියල. මම කඩාගෙන ටිකට් කවුන්ටරේ ගාවට ගියා. ඒ වෙලාවෙ කොහෙ හරි යන ඊලඟ කෝච්චියට ටිකට් දෙමිනුයි තිබුණෙ. දහයක් දොළහක් විතර පෝළිමෙත් ඉන්නව. තේරෙනවනෙ .. හි ..හි .. මට ඉතින් ආයෙ පෝළිමෙත් ඉන්න බැරි වග. කෙලින්ම කවුන්ටරේට ගියා. ඊලඟට ටිකට් ගන්න හිටියෙ හොඳ වෙලාවට තරුණ ජෝඩුවක් ..මම කොල්ලට මෙහෙම කිව්වා.. ''අයියෙ .. මගෙ යාලුවෙක් කලින් කෝච්චියෙ එනව කිව්ව. තවම එළියට ආවෙ නෑ..මට ඇතුලට ගිහින් බලන්න ඕන . මට ප්ලැට්පෝම් ටිකට් එකක් ගන්න ඉඩ දෙන්න'' අනේ ඌත් පස්සට වෙලා ඉඩ දුන්න. ඒ කාලෙ ප්ලැට්පෝම් ටිකට් එකක් රුපියලද කොහෙදො .. මම ටිකට් එක අරගෙන ඇතුළට යන්න කලින් ආපහු හැරිල බැලුව මාරෙ කෝ කියල .. මෙන්න මිනිහ ස්ටේෂම ඉදිරියටම ඇවිත්. මම අතින් එයාට සංඥා කළා .. ඔතනම ඉන්න මම ටක් ගාල එනව.. ඉබේටම කටිනුත් කියවෙන්න ඇති ..ඇහුනද මන්දා .. ඕව බල බල ඉන්න වෙලාවක් නෑ. ඇතුළට පැන ගත්ත මම අහවල් එක තියෙන ස්තානෙ බලා දිව්වා .. ඇත්තම කිව්වොත් දිව්ව නෙවෙයි දිවවුනා. එතකොට නම් මට අග්ගිස්සටම ඇවිල්ලයි තිබුණෙ. වහාම හිස් කාමරයක් හොයා ගත්තා.[ඒ වෙලාව හොඳයි .. උදේ කාලෙ නම් පෝළිමේ ඉන්න වෙනවා] කළිසම ගලවගත්ත විතරයි මතක. ''බර බරාස් .. හප්පා .. දැනෙන සනීපෙ'' නිකම් දිවියලෝකෙ ගියා වාගෙ. මේක හැබෑවටම දැනෙන්නෙ .. මේ වගේ දෙයක් වුන එකෙක්ට ම විතරයි.



ඔන්න දැන් තමයි මට එතන තියෙන අපිරිසිදුභාවයත් .. දුර්ගන්ධයත් .. දැනෙන්ට පටන් ගන්නෙ. [මං හිතන්නෙ හැම දේකටම ඕක පොදුයි.. වැඩේ ඉවර වුනාට පස්සෙ .. සනීපෙ ගියාට පස්සෙ තමයි ඒවයෙ තියෙන ගඳයි .. අපිරිසිදු බවයි අපිට දැනෙන්ට සහ වැටහෙන්ට පටන් ගන්නෙ  එතකොට නම් කොරගත්තු ගොංකම කියල හිතෙනව] ලෝකෙ හැටි එහෙමයි.
දැන් මං හදිසියට ආවට වතුර එකක්වත් ගෙනාවයැ ..[එන එවුන් පැත්තක තියෙන වතුර ටැංකියෙන් වතුර අරගෙන එන්න ඕන] දැන් කළිසම බාගෙට උස්සගෙන..දොර බාගෙට ඇරගෙන එතනින් යන එවුන්ට පිංසෙන්ඩු වෙනව. .. වතුර එකක් අරන් දෙන්න කියල. සමහරු ඇහුන් නෑ වගෙ යනව. එකෙක් නම් බැණලත් ගියා ''තමුසෙ දැනගන්න එපැයි කලින් ගන්න'' කියල. මට වෙච්ච එක මුං දන්නවයැ ..
අන්තිමේ දි පොඩි මල්ලි කෙනෙක් ආවා .. මං හිතන විදිහට මේකෙ ආපනශාලාවෙ වැඩ කරන කොලු ගැටයෙක්. යන්තම් මිනිහට කියලා ඒකත් ගොඩ දාගත්ත.
දැන් හැපි එකේ එළියට එනකොට මාරෙ ඉන්නව පුපුර .. පුපුර ..
මාව දැක්ක ගමන් කඩං පැන්න .. ‘කොහෙද යකෝ තෝ මේ දිව්වෙ .. මම හිතුවෙ ආපහු K  යන්නවත්ද කියල .. ඇයි උඹ මුකුත්ම කිව්වෙත් නෑනෙ’ මිනිහට හොඳටම තදවෙල. පැත්තකට එක්ක ගිහින් වෙච්චි දේ කිව්වට පස්සෙ තමයි  මාරෙ හිනා වෙන්න පටන් ගත්තෙ.'' උඹ ඉතින් කියන්ට එපාය ..ආත බූත කඩාගෙන දිව්වම හරියනවයැ''
''ඒ වෙලාවෙ කියන්ට විදිහක් නෑ බං .. අනික ඕක විස්තර කර කර හිටියනම් තව විනාඩි කීපයක් අපතේ යනව. ඔය විදිහට දුවපු හින්ද තමයි ජාමෙ බේර ගත්තෙ''
ආපහු එන ගමන් මම මාරෙගෙන් විශේෂ ඉල්ලීමක් කළා  ... '' මේ.. උඹ ගිහින් මේක ඔෆිස් එකේ කියනව එහෙම නෙවෙයි... හරිද ..?
මිනිහ ඒක අකුරටම රැක්ක .. හැබැයි අවුරුදු කීපෙකට පස්සෙ නිහාල් ගෙ වෙඩිම දවසෙ අනිත් එවුන්ට කියනකම්.
දැන් නම් අනිත් අයට ඕක ගානක් නෑ. සමහර අයට මතකත් නැතුව ඇති. ඒත් මාරෙ ඉඳහිට අපේ ගෙදර ආපුහම ඔය කතාව ඇදල අරන් මම එදා දුවපු හැටි කිය කිය ගෙදර එවුන් ඉස්සරහ තාමත් මාව බයිට් කරනව.


Sunday, December 11, 2011

''අසුර නිකාය''



හුඟ කාලෙකට පස්සෙ .. ඒ කිව්වෙ ඉස්කෝලෙ ගිය කාලෙ කියවපු පරණ පොතක්.. ආපහු කියවන්න ලැබුණා.
ඒක තමයි .. සුගතපාල ද සිල්වා මහත්තයගෙ ''අසුර නිකාය'' කියන පොත.



මේකෙ පළමුවන මුද්‍රණය කරල තියෙන්නෙ .. 1968  දි.  ඒ වුණාට දෙවනි මුද්‍රණය ඊට හුඟ කලකට පස්සෙ .. ඒ කිව්වෙ අවුරුදු 30 කට පස්සෙ 1998 දි තමයි කරල තියෙන්නෙ.
එහෙම වුනේ ඇයි කියන එක සුගතපාල මහත්තයම විස්තර කරල තියෙන්නෙ  මේ විදිහටයි.


මේක කියවත්දි මට මතක් වුනා මෙතුමා ලියපු තව පොත් කීපයක්ම. ඒ වගෙන් මම වඩාත් ම ප්‍රිය කරන්නෙ ''බල්ලෝ බත් කති'' සහ ''එසේ වී නම් මිනිසුනේ අසව්'' කියන පොත් දෙකටයි. පරිවර්තන වලින් නම් ඉතින් ''ඇට මැස්සා'' ට ගහන්න එකක් නෑනේ. [මේ ඇට මැස්සව  නිර්මාණි අරගෙන ගිහිල්ල තවම ගෙනත් දුන්නෙ නෑ .. දැන් මාස ගාණක් වුනා.. මේ වගෙ වෙලාවට තමයි ඉතින්.. ඉන්න තැනකට හොයාගෙන ගිහින් එයාගෙ බෙල්ල හපා කන්න හිතෙන්නෙ]
කොහොම වුනත් මට  ඕන කළේ  ''අසුර නිකාය'' හොඳ පොතක් බව කියන්නයි.
නිළියෙක් ගෙ ජීවිත කතාව සහ ආදර කතාව තමයි මෙකෙ විස්තර වෙන්නෙ. වර්තමානෙ නිළියො පිළිබඳව නම් අපි හැමෝම වගෙ දන්නවනෙ. ඉතින් ඒ කාලෙත් ඒක එහෙමම තමයි වෙලා තියෙන්නෙ. මං හිතන්නෙ මේ ගොල්ලොන් ගෙ ජීවන රටාවට කාලය කියන එක හරස් වෙන්නෙවත් .. බාධාවක් වෙන්නෙවත් නැති පාටයි.

ඔයගොල්ලොත් හැමෝම [බලපු නැති අය] හොයාගෙන කියවලා බලන්නකො.

I S B N    955 – 573 – 073 - 3

Tuesday, December 6, 2011

අහම්බෙන් හමු වූ මිතුරා...



                                                            අහම්බෙන් හමු වූ මිතුරා...

දැනට සතියකට පමණ පෙර අහම්බෙන් මට බ්ලොග් යාලුවෙක් හමු වුනානෙ. මීට පෙර පැවති SBU හමුවකදී හෝ එදා තිබුණ අවුරුදු උත්සවයෙදි හෝ මොහු හමුවෙලා තිබුණෙ නෑ.
අන්තිමේ බලනකොට මෙයා ඉඳල තියෙන්නෙ අපේ ඔෆිස් එකේමයි. අපි නිතරම හමුවෙනව. කතා කරනව. කොටින්ම මේ අවුරුද්දෙ ගිය තනිකඩයන්ගෙ [හැබැයි අපි වගේ හොර තනිකඩයො නෙවෙයි .. මිනිහ නම් හැබෑම තනිකඩයා] සවාරියත් අපි එකටයි ගිහින් තියෙන්නෙ. ඒ වුනාට ඌ දන්නෙ නෑ මම බ්ලොග් ලියනව කියල. මම දන්නෙ නෑ ඌ බ්ලොග් ලියනව කියල.
අන්තිමේ ගිය සතියෙ දවසක ටොයිලට් එකේ දි .. චූ කරන ගමන් කතාවට වැටුනා.
ටික වෙලාවකින් මිනිහ අහනව ..
උඹ මොනවහරි ලියනවද ..?
ඔව් .. මම පොඩියට බ්ලොග් එකක් ලියනව ..
ඇත්තද මොනව ගැනද ..?
අහවල් බ්ලොක්කෙ ලියන්නෙ මම තමයි.
මාත් එකක් ලියනවනෙ.
 ඒකෙ නම මොකක්ද ..?
අයිස් පලම ලියන්නෙ මම තමයි.. හැබැයි වැඩිපුර ලියල තියෙන්නෙ කවි.
ඇත්තද මට නම් එහෙම එකක් ගැන මතකයක් නෑ...
මම හුඟ දවසකින් මුකුත් ම ලිව්වෙ නෑ. එහෙම වුනාමත් සින්ඩියෙ පෙන්නන්නෙ නෑනෙ.
මාත් ලිව්වෙ නෑ.
ඔන්න අපි දෙන්න ආපහු සම වුනා.
මම නම් කවි වලට එතරම් ම ආසා නැත්තෙක් මි.අලුත් බ්ලොග් යාලුවෙක් හඳුනා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්  ඔහුගේ බ්ලොගයට ගොස් බැලීමි.  www.icepalama.blogspot.com
ඔහුත් ඇතුලව තවත් කීපදෙනෙකුම ලියූ කවි එහි වීය. කිසිදාක කවි ලියතැයි සිතිය නොහැකි .. ඉලක්කම් අතරම දවස ගෙවන ..සාහිත්‍ය රසයක් කොහෙත්ම ඇතැයි නොසිතෙන .. අපේ ඔෆිස් එකේම ඉන්න තව එකෙකුත් කවි ලියා තිබුණි.
පුදුමාකාරයි නොවැ මේ ලෝකේ ...
අපි නිතරම හමුවන උදේ හවා කතාබස් කරන මිනිසුන් අතරේ...... අපි හීනෙන්වත් නොහිතන දේවල් කරන කියන මිනිසුන් තව කොතෙකුත් ඇතිදෝ ....



Friday, November 11, 2011

''ලොබ නොසිඳේයා''


මම මේ පොත කියවලා දැනට මාසයක් විතර වෙනවා. හරි නම් ඒ දවස්වල තමයි මේ පොත ගැන ලියවෙන්න තිබුනේ.
ඒත් .. කම්මැළිකම කොතරම්ද කියල කීවොත් .. ඒක දවසින් දවසම කල් ගියා. ඔය කම්මැළිකම කියන්නෙ මහ බයානක ලෙඩක්. අපේ බොහොම පොරසිද්ද බ්ලොග් කරුවෙකු වන '' ක කා '' [මට මතක විදිහට] බොහොම ඉස්සර ලියපු ලිපියකින් විස්තර කළා කම්මැළිකම බ්ලොග්කරුවනට හැදෙන්ට පුලුවන් බයානක රෝගයක්ය කියල. ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් ය කියල මට දැන්  හොඳටම වැටහුනා.
 ''ක කා'' ගෙ කටේ රත්තරං ඔබන්ට වටිනවා.
අනෙක් කාරණේ තමයි .. පොත කියවපු ගමන්ම එන ''ගැම්ම'' පහු කාලෙකදි ලියනකොට ඒ විදිහටම එන්නෙ නැති බව. ඉතිං මේ පොත ආයෙමත් කියවන්න සිද්ද වුනා.
කිසිම බාදකයක් නැතුව තිබියදීත් ... [ඔෆිස් එකේ හෝ ගෙදරදි] කාලය ඕනෑ තරම් තිබියදීත්.. මම එහෙම වුනේ ඇයි ...?
මං හිතන්නෙ 'අරුණි' මේ දවස්වල ලියන සිත පිළිබඳ ලිපි පෙළ නැවත වාරයක් කියවලා බලන්ට වෙයි වගේ.
කොහොම වුනත් ..සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් ලියන ලද ''ලොබ නොසිඳේයා'' කියන මේ පොත .. හැමෝම වාගේ කියවලා බලන්ට වටින පොතක්. 2002 ජනවාරි වල මුද්‍රණය කරල තියෙන මේ පොතේ ISBN  එක වෙන්නෙ  955 - 95352 - 8 - 5 යි.



ටිකක් විතර අමුතු කතාවක් රැගත් මේක .. පළමුවෙන්ම කියවන්න පටන්ගන්නකොට ප්‍රසාදජනක හැඟීමක් නෙවෙයි එන්නෙ.  කියවන අපිට පිස්සු ද.. එහෙම නැත්නම් පොතේ තියෙන චරිතවලට පිස්සු ද කියලත් මට හිතුන . ඒ වුනාට දිගටම කියවගෙන ගිහාම තමයි කතාවේ රසය වැටහෙන්ට පටන් ගන්නෙ.


මහ විශාල පොතක් නොවන හින්ද එක හුස්මට කියවගෙන යන්න පුලුවනි.  අමුතුම සමාජ තලයක ජීවත්වෙන මෙහි ගැහැණු සහ මිනිසුන්ගෙ චර්යා රටාත් අමුතුයි. මට නම් අල්ලල ගිය චරිතය තමයි ගෙදර සේවිකාව වන පළිඟු ගෙ භූමිකාව.  සුමිත්‍රා මහත්මිය මේ කතාව මනාව ගොතල තියෙනව.
හොඳයි ඉතින් වැඩි විස්තර මොකටද ... ඔය ගොල්ලොත් කියවලාම බලන්නකො.

Monday, September 5, 2011

''කෙටි පණිවිඩය හා දිග කතා''



මට අද හොඳ අපූරු පොතක් කියවගන්න ලැබුණා. හැබැයි ඒක නව කතාවක් නම් නෙවෙයි.
ඒක කෙටිකතා පොතක්.
[පුංචි කාලෙ කෙටිකතා පොත් හුඟක් කියෙව්ව වුනාට.. පස්සෙ පස්සෙ නවකතාමනෙ කියෙව්වෙ. මං හිතන්නෙ වැඩිපුර ලැබුණෙ ඒව නිසා වෙන්න ඇති]
 ඒ වුනාට මේක ගුණාත්මකභාවයෙන් ඉතාම ඉහළයි.  ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය. එයා ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ.
එහි නම තමා ''කෙටි පණිවිඩය හා දිග කතා''.


පළමුවන මුද්‍රණය  2006 දිත් දෙවන මුද්‍රණය 2008 දිත් කරල තියෙන මේ පොත  සරසවි පොතක්.








මේ පොතේ තියෙන කතාටික කියෙව්වම මම නිකම් හොල්මන් වෙලා ගියා. ඔයගොල්ලොන්ගෙ බාසාවෙන්ම කිව්වොත් '' පට්ටම පට්ටයි'' කියල කියන්න පුලුවනි.  ඒකෙත් .. පළමුවෙනි කතාවයි .. දෙවනි කතාවයි.. ඒ සමගම තුන්වෙනි එකත්…  මගෙ හිතට හොඳටම අල්ලලා ගියා.
මගෙ කතාත් කතාද කියල හිතුනා.
 [කාටවත්ම කියන්න එපා.. මමත් නිකම් මේ... පොඩියට වගේ කෙටිකතාවක් දෙකක් ලියල තිබුණා. හි .. හි ...]
 ඒවත් එක්ක සසඳල බැලුවම හරියටම අර  ''හිරු දුටු කදෝපැණිය''  වගේ වුනානෙ මේ අසරණ මං.   අයියෝ සංසාරේ .... ඒව එබුව කුණුකූඩෙට.
ආයෙ නම්  කෙටිකතා ලියන්නත් මොකක්ද වාගෙ.
කොහොම වුනත් මට කියන්න ඕන කළේ මේක ඉතාම හොඳ පොතක් බවත්
  සහ
කියවපු නැති හැමෝම වාගෙ කියවලා බැලිය යුතුම පොතක් බවත් ය ….  කියලයි.

I S B N     955 – 573 – 146 - 1


Sunday, September 4, 2011

''බ්ලොග් කෙරුවාවෙන් ඉගෙනගත් අමුතු වචන''



අද මම ලියන්න යන්නෙ පොත් ගැන නෙවෙයි ..
මම මෙතෙක් කල් බ්ලොග් ලියන්නන්ගෙන් අහුලගත්තු අලුත් වචන කීපයක් ගැනයි.
මුලින්ම මම ඉගෙනගත්ත වචනය තමයි ''පට්ට'' කියන එක. ඒක ඉස්සෙල්ලම කිව්වෙ කවුද කියන එක මතක නැති වුනත් .. බයිස්කෝප් එකේ කට්ටිය තමයි නිතරම යෙදුවෙ තම තමන්ගෙ චිත්‍රපට හඳුන්වා දීම සඳහා. මුලදි මට ඕක එතරම්ම තේරුණේ නැති වුනත් .. දැන් නම් දන්නව .. ඉතාම හොඳ .. එහෙම නැත්නම් විශිෂ්ඨයි කියන අදහස කියවෙන බව.
නමුත් අපේ ගම්පළාත්වල ඕක යෙදුවෙ වෙන විදිහකටයි. ''උඹ කියන්නෙ පට්ටපල් බොරු'' වැනි යෙදුමකටයි. ඕක අසභ්‍ය වගෙ පෙනුනත් තව තැනක යෙදුවා .. ''පට්ට වේසි'' කියල.
[මේකෙ තේරුම අති විශිෂ්ඨ වේසි.. එහෙම නැත්නම් ඉතාම හොඳ වේසි ද මන්දා]
මොනව උනත් අපි ඒ වචන හොඳ පැත්තට යොදන්නෙ නෑ ... මම දන්න විදිහට. උදාහරණයක් වශයෙන් ... ''පට්ටපල් බොරු'' කියල යෙදුවට ''පට්ටපල් ඇත්ත'' කියල යොදන්නෙ නැහැනෙ. ඕකෙ මං දන්නෙ නැති මොකක් හරි රීතියක් ඇති.
නමුත් මගෙ පෞද්ගලික මතය නම් යෙදිය හැකි බවයි. උදාහරණයක් විදිහට ''අමූලික බොරු'' කියන එක ''අමූලික ඇත්ත'' කියලත් යොදන්න පුලුවන් වෙන්න ඕන.
කවුරු හරි සිංහල හොඳට දන්න කෙනෙක් මැදිහත් වෙලා පහදල දෙනවනම් මම කැමතියි.
ඊ ලඟට ඉගෙන ගත්ත වචනය තමයි .. රත්ගමයගෙ ''ඉකේයිය'' කියන එක. ඒකත් මරු වචනෙ .... හි .. හි... හුඟක් තැන්වල යොදන්න පුලුවන්.
[ හැබැයි රත්ගොමය දැන් නම් වැඩිය ඒක භාවිතා කරන්න නෑ වාගෙ.]
 ඉස්සර මම බ්ලොග් කියවත්දි එයාව හඳුනාගැනීමේ සංකේතය වුනේ .. ඔය ''ඉකේයිය'' කියන එක තමයි.
මීලඟ එක තමා අපේ ඩබ්ලිව්. සුළැඟිල්ලා මහතාගේ ''ලොල්ය'' කියන එක. ඒකත් මට මුලදි තේරුනේ නෑ.. මං හිතන විදිහට .... ආස හිතෙන / ආදරේ හිතෙන / උනන්දුව ඇතිකරන  වගේ එකක් වෙන්න ඇති. ඒකත් මරු වචනෙ. ඒකටත් මම  කැමතියි.
එතකොට අපේ කතන්දරගෙන් ඉගෙන ගත්තා .. අලුත් වචනයක්. ''මැවිසුරුවා'' කියල. ඒක මට අලුත්ම වචනයක් වුනා. ඒකෙ තේරුම නම් ඉතින් හැමෝම වාගෙ දන්නවනෙ.
ඊ ලඟට ඔය පෙරමුණේ රාළගෙ බ්ලොග් එක පැත්තෙ යන කෙනෙක් .. මට නම හරියටම මතක නෑ ... තවත් මරු වචනයක් භාවිතා කළා නිතරම. ඒ තමයි '' කුජීතයි නේද පින්වත'' කියන එක. අපි ජීවත්වෙන මේ කුජීත සමාජයෙදි හුඟක් තැන්වල කදිමට යොදන්න පුලුවන් නියම වචනයක් ඒක. ඒකටත් මම හුඟක් කැමතියි.
තව එකක් තියෙනව .. රංග මගේ ලෝකය බ්ලොග් එකෙන් ඉගෙනගත්ත.
 ඒකත් ටිකක් අමුතුයි වාගෙ පෙනුනට මම ඒකටත් කැමති වුනා. ඒ තමයි ..''ලෙසටම'' කියන එක. මුලදි මේකත් මට තේරුනෙ නෑ. එයාගෙ ලිපිය අවසානෙටම කියෙව්වට පස්සෙ තමයි තේරුනේ .. ''ලෙසටම'' කියන්නෙ යම් වැඩක් හරියටම නිවැරදිව කිරීමට කියල.  තව විදිහකට කිව්වොත් කැපවෙලා.. එහෙම නැත්නම් බැහැල කරනවා කියන්නෙ. අන්න ඒකට.
[දැනට නුපුරුදු වුනත් අපිත් පුරුදු වෙන්න ඕන ඒකම තමයි]
දැනට ඉතින් ඔය වචන ටික තමයි .. තව ඉදිරියට මොන මොන අලුත් වචන ඒවිද කියන්න බෑනෙ. ඒව ගැන එතකොට ලියමු.
මගෙ බ්ලොග් එක  වැඩි දෙනෙක් කියවන්නෙ නැති බව නම් ඇත්තයි. ඒ වුනාට අනිත් අයගෙ බ්ලොග් කියවල මම හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනව. දැනටත් ඉගෙන ගනිමිනුයි ඉන්නෙ.
මම මේ බ්ලොග් කෙරුවාවට කැමතිත් ඒ හින්දමයි.


Thursday, September 1, 2011

''කලුවර වසන්තය''

අන්ධකාර ලොවක් කෙසේ තිබිය හැක්කේද ...?
ඔබ එබඳු ලෝකයකට ගොස් තිබේද.....?
ජීවිත කාලයම අඳුරු ලොවක ජීවත් වීමට සිදුවෙයි නම් ......


මේ දිනවල කියවපු පොත ඒ ගැනයි. ''කලුවර වසන්තය'' නැමති මේ පොත ලියා තිබෙන්නේ ගුරුවරියක් ,විදුහල්පතිනියක් , ගුරු උපදේශිකාවක් වශයෙන් බොහෝ කලක් සමාජයට සේවයක් කොට තිබෙන කාන්තාවක් වන නන්දා පෙරේරා මහත්මිය විසිනි.
ප්‍රථම මුද්‍රණය 2006 දී නිකුත් කොට ඇති මෙය සරසවි ප්‍රකාශනයක් වේ.


සැබැවින්ම අන්ධ පුද්ගලයන් කීප දෙනෙකු සමග සාකච්චා කොට ඔවුන්ගේ සැබෑ අත් දැකීම් අලළා ලියන ලද මේ කතාව මුලදී ඉතාම සංවේදී එකකි.

අවසානය කුමක් වෙයිද ....?
පොත කියවලාම බලන්න... ඉතාම හොඳ පොතක්.

I S B N     955 – 573 – 419 - 4