Powered By Blogger

Thursday, June 30, 2011

පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා...


මේ මාතෘකාව දැක්කම ඔයාලට මොනවද හිතෙන්නෙ. මේක දැනට බොහෝ කලකට පෙර පුවත්පතක පළ වූ සිද්දියක්. දැන් මට මතක නෑ පුවත් පත මොකක්ද කියල. නමුත් කතාව ඇත්ත.

ඔය ගොල්ලො දන්නව ඇතිනෙ... ඒ කාලෙ පොතක් ලියල ඒක අච්චු ගහ ගන්න ලේඛකයො මොන තරම් දුකක් විඳිනවද කියල. මිනිහ සල්ලිය බාගෙ අතේ නැති ආධුනිකයෙක්නම් තත්වය තවත් දරුණුයි.
පළමුව ඉතින් පොත ලියන්න ඕන. ඕකනෙ අමාරුම වැඩේ. ඊලඟට නැවත ඒක ලස්සන අකුරෙන් පිටපත් කරන්න ඕන. [තමාගෙ අකුරු කැත නම් වෙන කෙනෙකුට දීල ඒක කරවගන්න ඕන. මම දන්න විදිහට පොත් ලියන බොහෝ දෙනෙක් ඒ කාලෙ කළේ එහෙමයි.]
ඊට පස්සෙ ඒ සකස් කරගත්ත අත් පිටපත [මුල් පිටපත] අරගෙන ඒක මුද්‍රණය කරන්න කැමතිවෙන ප්‍රකාශකයෙක් හම්බවෙනකම් ඇවිදින්න ඕන. [කකුල් කඩුත්තුව හැදෙනකම්ම]
ඔය අත් පිටපත කියන නම් හැදිල තියෙන්නෙත් මං හිතන විදිහට අතේ අරන් හැමතැනම ඇවිදින හින්ද වෙන්න ඕන. කොහොම හරි ඔය මොකෙක් හරි ප්‍රකාශකයෙකුත් හම්බ වුනාය කියමුකො. ඊට පස්සෙ එතනත් ප්‍රශ්ණ. හුඟක් ප්‍රකාශකයො උත්සාහ කරන්නෙ අර ආධුනිකයාව රවටල ගසා කන්නයි. [එහෙම නැති හොඳ ප්‍රකාශකයොත් ඉන්නව තමයි. හැබැයි ඉතින් හාව හඳ දකින්නා වාගෙ . බොහෝවිට වෙන්නෙ කතාව හොඳ නෑ කියා පොත ප්‍රතික්ෂේප වීම.]
 හරි දැන් ඉතින් පොත බාර ගත්තයි කියමුකො. ඒත් ප්‍රශ්න ඉවර නෑ. දැන් කරදරේ තියෙන්නෙ පොත බාරගත්ත එකාට. ඒකෙ අකුරුවල හරි වැරදි බලන්න ඕන .. ඊට පස්සෙ අකුරු අමුණන්න ඕන ... පිටු සැකසීම .. කවර නිර්මාණය .. ආදී වශයෙන් තව වැඩ කෝටියයි. ඒ අතරෙ සැරෙන් සැරේ ලියපු එකාව ගෙන්වනව.. එක එක අඩුපාඩු සකස් කර ගන්න. අන්තිමේදි මේ පොත අච්චුගැහිල්ල හෙන ඇණයක් වෙනවා.




ඒ වුනාට දැන් කාලෙ ඒක හරි පහසුයි නේ ... නැද්ද ....
පරිගණකයක් තියෙනවනම් සිංහල අකුරු දාගෙන ලිව්ව පොත.. කොහොමද... අකුරුත් ලස්සනයි .. දෙතුන් පාරක් කියවලා තමාටම හරි වැරදි හදාගන්නත් පුලුවන්. ඊට පස්සෙ පේජ් මේකරයට දාල පිටු සැකසීමත් හොඳට කරගන්න පුලුවන්. තව ඉතින් ඔය ඩිසයින් වැඩ ටිකක් දන්නවනම් පොතේ කවරෙත් හදාගන්න පුලුවන්.
ඊට පස්සෙ පෙන් එකකට හරි නැතිනම් සී.ඩී. එකකට කොපි කරගෙන කෙලින්ම මුද්‍රණකරුවාට බාරදෙන්න වුනත් පුලුවන්.
ඉතින් .. දැන් තේරුනානෙ .. ඒ කාලෙ එහෙමයි ..මේ කාලෙ මෙහෙමයි ...
[මේ කාලෙත් අමාරුකම් ඇතිවෙන අවස්ථා නැතුවාම නොවෙයි]
ඔන්න දැන් අපි ඇත්ත කතාවට එනව. අපේ හිරබත් කෑ තරුණයාට වුනෙත් ඕකමයි.
ඔය ගොල්ලො දන්නව ඇතිනෙ 1971 අප්‍රේල් කැරැල්ල. ඕකට තරුණයො හරියට ඇදිල ගියා. නමුත් සමහරු කොහොමහරි ඒකට සම්බන්ධ වෙන්නෙ නැතුව හිටිය. අපේ මේ කතානායකයත් එහෙමයි. කැරැල්ල නිසා හැමදාම ඇඳිරි නීතිය. විශේෂයෙන් තරුණ එවුන් ඇවිදින්න ගිහාම හෙන කේස්. හැම දෙමව්පියෙක්ම උත්සාහ කළේ තම තමන්ගෙ තරුණ වියේ සිටි දූ දරුවන් පරෙස්සම් කරගැනීමට. ඉතින් සමහර තරුණයන්ට ගෙදරින් කොහෙවත් යන්න දුන්නෙ නෑ. අපේ මේ කතා නායකයටත් ඒ සන්නෑසියම තමා. ටික දවසක් ඔහොම ඉන්නකොට මිනිහට මේ ඉඳිල්ල එපා වුනා. ඇයි දෙයියනේ ඉතින් හිරේ දැම්ම වගේනේ. හැමදාම ගෙට වෙලා ඉන්න එකේ කම්මැළිකම යන්නත් එක්ක එයා ලිව්වලු නවකතාවක්. මාස දෙක තුනක් යනකොට පොත ලියලා ඉවරවුනා. මේ වෙනකොට රටේ තුබුණ වාතාවරණය ටික ටික යහපත් වේගෙන එනවා. ඔන්න අපේ මෑන් ලස්සන අකුරෙන් කතාව පිටපත් කරගෙන එහෙම යන්න ලෑස්තියි .. කොහෙද ... පොත පබ්ලිෂ් කිරීමට. දැන් තමයි මෙයා  කට්ට කන්න පටන් ගන්නෙ. මිනිහත් අනේ දවස් ගාණක් ඇවිදල ...අත් පිටපත ගෙවෙනකම්ම  පෙන්නල හිස් අතින් එනවලු. ඒත් අරින්නෙ නෑ. පහුවදත් යනව. ඔන්න එක දවසක මේ තරුණයාට හම්බ වුනා පොත අච්චුගහල විකුණන්න කැමති ප්‍රකාශකයෙක්. අපේ මිනිහට දැන් මේ වැඩේ එපාවෙලයි තිබුණෙ. ඒ නිසා ගිලෙන එකා පිදුරුගහෙත් එල්ලෙනව කිව්ව වාගෙ මුගෙ එල්ලුනා. දැන් මුදලාලිය එක එක කොන්දේසි දානව. පොත් මුලදි ප්‍රින්ට් කරන්නෙ මෙච්චරයි .. කර්තෘ භාග ගෙවන්න නම් බැරි වෙයි. ඕනම නම් පොත විකිණෙන විදිහ බලල තමයි ගෙවන්නෙ .. ආදී වශයෙන් ..
අපෙ තරුණයටත් වෙන කරන්න දෙයක් නැති හින්ද ඉතින් එකඟ වෙනව. පොත් සාප්පු කාරය කියනව මෙහෙම... එහෙනං පොත තියල යන්නකො.. තව සති දෙකකින් විතර ඇවිත් බලන්න...
අනේ අර මිනිහ සති දෙකකකින් පස්සෙ ගිහින් බලනකොටත් පොත ගහල නැති බව තමයි දැනගන්න ලැබෙන්නෙ. තව සතියකින් විතර ආයෙම යනව. මොන ... වැඩේ කෙරිල නැහැලු. ඊලඟ සැරේ ගියාම පොත් සාප්පු කාරය ටිකක් විතර තදින් කතා කරනව.  තමුසෙට පිස්සුද ඕයි .. පොඩ්ඩක් ඉන්නවකො කරල දෙනකම් .. මේකට කලින් බාරගත්ත ඒව තව කොච්චර තියෙනවද ...
 අපේ මෑන්ට තරහ ගියා වුනත් මුකුත් කිව්වෙ නෑ. කොහොමහරි වැඩේ කරගන්න ඕනනෙ. ඉවසගෙන ආපහු ගියා. දැන් මේ වැඩේට මාස හතරකුත් පහුවෙල.
දවසක් මිනිහ ඔය පොත් සාප්පු අතර නිකමට ඇවිදිමින් යන අතරෙ ..[පොත් සල්ලි දීල ගන්න බැරි වුනත් පොත් දෙස බලමින් ..අලුතෙන් ආපු පොත් මොනවද කියල හොයමින් පොත්සාප්පුවල ඇවිදින එක ඕනම පොත් කියවන්නෙක්ගෙ පුරුද්දක්නෙ. මේ මමත් ඒ විදිහයි.]  ටිකක් අලුත් විදිහෙ පොතක් දැකල නැවතුනා. ඒකෙ නම ටිකක් හුරුයි වගේ. බැලින්නම් මිනිහ ලියපු පොත .. ඒ නමමයි. දැන් එයාට හරිම හැපි .. අරූ මොනව කළත් හොඳ එකා .. පොත අච්චුගහලනෙ.. කියල හිතමින් මිනිහ කවුන්ටරේට ගිහින් අර පොතක් ඉල්ලෙගෙන පෙරළල බැලුව. නාහෙට කිට්ටු කරල පොතේ සුවඳත් බැලුව. අපි වුනත් ආසයිනේ.. අපේම පොතක් අච්චුගහල පොත් සාප්පුවල ප්‍රදර්ශනය වෙනවට. අතරින්පතර කියවලත් බැලුව .. මිනිහ ලියපු කතාවම තමයි. ආපහු පොත පෙරළන ගමන් කවරෙ දිහාව හොඳට බැලුව තමාගෙ නම මුද්‍රණය වෙලා තියෙන්නෙ කොහොමද බලන්න.අපි කවුරුත් එහෙමනෙ. පොතේ නමටත් වඩා ලස්සනට තමාගෙ නම තියෙනවටනෙ කැමති. ඉතින් එයත් හොඳට බැලුවා.  මිනිහ බිරන්තට්ටු වුනේ එතකොටයි. බැලුවම පොත ලියල තියෙන්නෙ වෙන එකෙක්. මිනිහට හොල්මන්. මගෙ පොත කොහොමද යකෝ වෙන එකෙක් ලියන්නෙ ..


මිනිහට මල පැන්නා .. ඒ පිටම යනව දැන් ප්‍රකාශකය හොයාගෙන මේකෙ තේරුම මොකක්ද කියල අහන්න. ගිහින් ඒ මිනිහගෙ ඇඟට කඩන් පැන්නා.. තමුසෙ මගෙ පොත අච්චුගැහුවට වැඩක් නෑනෙ ඕයි .. වෙන එකෙක්ගෙ නමක්නෙ දාල තියෙන්නෙ ...
දැන් ප්‍රකාශකය හරිම සන්සුන්. මොකද මේ කළබලේ .. මොකක්ද වෙලා තියෙන්නෙ...?
වෙලා තියෙන්නෙ ... වෙලා තියෙන්නෙ තමුසෙ මගෙ පොත මගෙ නම නැතුව වෙන නමක් දාල ගහල... පොත්සාප්පුවල විකුණන්නත් දාල.
ප්‍රකාශකය කළබල වුනේ නෑ. ඔහු අහනව මෙහෙම... ඒ පොත තමුසෙගෙද ..?
නැත්තං ... මම මාස හතරකට විතර කලින් ගෙනත් දීපු පොතනෙ. ඇයි මතක නැත්ද මම කීපසැරයක්ම ආව ඒ ගැන බලන්න.
තමුසෙට පිස්සුද ඕයි .. මම තමුසෙව දැක්කෙත් අදයි. මේක මම හත්වෙනියට ලියපු නවකතාව. තමුසෙ මා ගැන දන්නවනෙ. [ ඒ වෙනකොට ඒ ප්‍රකාශකය නවකතා කීපයක් ම ලියල තිබුන.]
ඔන්න අපෙ කතානායකයට දැන් සිද්දිය තේරුම් වේගෙන යනව ... තමා බොහොම මහන්සි වී ලියපු නවකතාව ප්‍රකාශක තුමා බොහොම ලේසියෙන් එයා ලියපු විදිහට අච්චුගහගෙන. [ ඒ කාලෙ  ආධුනික ලේඛකයන්ට ඔය වාගෙ වැඩ හරියට වුනා. එක්කෝ කර්තෘභාගය හරියට ගෙවන්නෙ නෑ. සමහරු මෙහෙමත් කළා ... පොත් දාහක් ගහමු කියල එකඟවෙලා .. පොත හොඳට විකිණෙනව වගේ නම් හොරෙන් තව දාහක් විතර ගහල විකුණගන්නව. ඒ අමතර ගහපු දාහ ගැන ලේඛකයට කියන්නෙ නෑ. එතකොට ඒ දාහෙ සම්පූර්ණ ලාභයම ප්‍රකාශකටයි.]
ඉතින් මේ කරුණු කාරණා ඔලුවට ගොනුවෙනකොට අපේ මෑන්ට තරහ ඉහවහ ගියා. උන්හිටිතැන් අමතක වුනාය කියන්නෙ... අන්න එහෙම වුනා. අපේ කතාවෙ ඔතනදි තමයි මහ ලොකුවට ගෝරියකුත් ගියාය කියන්නෙ. ඔය සද්දෙ ඇහිල ප්‍රකාශකගෙ ගෝල බාලයො ඇවිත් මිනිහව මෙල්ල කළා. එතකොටත් ඔය වීදුරු අල්මාරි කීපයකටයි .. මේසපුටු කීපයකටයි අලාභහානි වෙලාලු තිබුනෙ. ඔය අතරෙ ප්‍රකාශක තුමා පොලිසියට එහෙම දන්වල .. අපේ එකාව අල්ලල දුන්නලු.  මොකක්ද චෝදනාව ... ආයතනයට අලාභහානි කොට මුදල් මංකොල්ල කෑමට තැත් කිරීම. කාලා වරෙන්කො .. අපේ එකාට සාක්කි නෑ .. මුදලාලිට සාක්කි ඕන තරම්. අන්තිමේදි කරුණු කාරණා හොඳහැටි විචක්ෂණ භාවයෙන් යුතුව ගළපගත්තු අපෙ උගත් නඩුකාර හාමුදුරුවො මිනිහට මාස හයකට අච්චු කොළා. පොතක් ගහන්න ගොහින් මිනිහට අන්තිමේදි පොතත් නැතුව හිරෙත් යන්න වුනේ ඔන්න ඔහොමයි.
ඉතින් හිරෙන් නිදහස් වුන ගමන් මිනිහ දිව්වෙ කොහෙද ..ගෙදරද .. නෑ .. ඒ කාලෙ මොනවහරි වුනාම අඬාගෙන දුවන්න සිරස කියල එකකුත් තිබුණෙ නෑනෙ. ඒ හන්දා මිනිහ කෙලින්ම දිව්ව පත්තර කන්තෝරුවකට ... එයාට ඕන කළේ මේ වුන අසාධාරණය මහජනයාට දැනුම් දෙන්නයි. එතකොට ජනප්‍රිය ඉරිද පත්තර හැටියට තිබුණෙ සිලුමිණයි ..රිවිරැසයි වෙන්න ඕන. ඔය දෙකෙන් එකක තමා ඔය කතාව පළ වුනේ.
මාතෘකාව ඒකමයි. ''පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා''
ඒ කාලෙ පත්තර හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවලා බලන්න.

Monday, June 6, 2011

''සිඟන්නා''


හුඟ කලකට කලින් කියවපු පොතක් මට මේ ලඟකදි නැවතත්  කියවන්න ලැබුණා. ඒක තමයි මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියන ලද ''ශ්‍රී ලංකාවේ යාචකයා'' කියන පොත.

මෙහි පළමු මුද්‍රණය 1996 දීත් .. දෙවන මුද්‍රණය 2000 වසරේදීත් සිදුකර තිබෙයි.
එතුමා දැන් අප අතර නැතත් ... මේ කෘතිය සිඟන්නන් ගැන ලියූ විශිෂ්ඨ පර්යේෂණ ග්‍රන්ථයකි.


ලංකාවේ සිටින යාචකයන්ගේ අපූරු චර්යා රටා මෙන්ම රසවත් සිදුවීම්ද මෙහි ඇතුලත්ය.


මේ සඳහා එතුමා සැබෑවටම හිඟන්නෙක් බවට පත් වූ බව සඳහන්. අනෙකුත් සිඟන්නන් සමග අම්බලම්වල ලගිමින් ... අපිරිසිදු වැරැහැලි වූ ඇඳුම් අඳිමින් ... අනුන් විසින් දෙනුලබන ..සමහරවිට අපිරිසිදු වූ අහර ඔවුන් සමග බුදිමින්... වසර ගණනාවක් ගත කිරීම මටනම් කිසිදා කළ නොහැකි දෙයකි.


මෙසේ දැඩි කැපවීමෙන් යුතුව තම පර්යේෂණ කරන්නන් මේ කාලයේ විරලයහ. මේ කෘතිය අප අගය කළ යුත්තේ එහෙයිනි.
හැකි හැමෝම හොයාගෙන කියවලා බලන්න. අපූරු පොතක්.

ISBN   955 – 553 – 096 - 3

Monday, May 30, 2011

මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

කරුණාකරල මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

['' බද්දේගම''  සිංහල චිත්‍රපටය ]

''බැමි''

පහුගිය දවස්වල කියවමින් හිටිය පොත තමා මේ තියෙන්නෙ .
 ඒකෙ නම ''බැමි''.


 ලියල තියෙන්නෙ  සමින්ද ලංකා සමරසිංහ කියල මහත්තයෙක්. මේක මුද්‍රණය කරල තියෙන්නෙ  2008 දි.
කතුවරයාගෙ පළමුවන පොත වන මෙය ඔහු ලියා ඇත්තේ  [ඔහු කියන පරිදි] අ.පො.ස . උසස් පෙළ ලියා ප්‍රතිඵල නිකුත්වෙන තුරු ... කාල වකවානුව තුළ බවය.
මෙයින් අපට පැහැදිලි වන කරුණක් වන්නෙ ඉතාම තරුණ අවදියේ මෙය ලියූ බවයි.
එසේ වුවද පොත ඉතා රසවත්ව ලිහිල් බසින්.. බොහෝ පළපුරුදු කතුවරයෙකු විලසින් රචනා කොට ඇත.
මා කියවූ පොත්වලින් ටිකක් අමුතු කතාවක් තියෙන එකකි මේ. තුන් කොන් ආදරයක් ගැන කියවෙන අන්දරයක් වෙන මෙහිදී ...
 ඔබට සිතෙනු ඇත්තේ කුමක්ද ...?
කොල්ලො දෙන්නෙකුයි එක කෙල්ලෙකුයි.... එහෙම නැතිනම් කෙල්ලො දෙන්නෙකුයි එක කොල්ලෙකුයි ...? ?
එහෙම නේද හිතෙන්නෙ.....?   [සාමාන්‍යයෙන් තුන් කොන් ආදර කතා එහෙමනෙ.]
නෑ ... මේක වෙනස්...
හුඟක් ආදරෙන් ඉන්න කොල්ලො දෙන්නෙකුයි .. ඒ කොල්ලො දෙන්නගෙන් එක කොල්ලෙකුට ආදරය කරන කෙල්ලෙකුයි ...
හරි අමුතුයි වගේ නේද ..?
  ඇත්තටම හිතල බැලුවොත් ඒ වගෙ චරිතත් මේ ලෝකෙ ඉන්නව ඇති.



මේ කතාවෙ අවසානය  ලඟා වෙනකොට නම් හරිම කුතුහලාත්මකයි.  නමේ අර්ථය පෙන්නුම් කෙරෙන විදිහටම නොයෙකුත් බැමි වලින් බැඳීගෙන අපි විහින් දුක් විඳින ආකාරය මනාව පැහැදිළි කර දෙන කතාවක්.
කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.
මේකෙ මිළ නම් ටිකක් වැඩියි ... රු. 600 ක් විතර වෙනව. ප්‍රකාශ කරල තියෙන්නෙ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

I S B N   978 – 955 – 30 – 0442 - 0



Thursday, May 19, 2011

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

මම මේ ආරංචිය දුටුවෙ පොජ්ජෙගෙ අඩවියෙ තිබිලා. මම මුලින්ම හිතුවෙ මූ ලොකු විහිලුවක් කරනවා කියලයි. මම ඒකට කමෙන්ට් එකක් දැම්මෙත් ''මේක ඇත්තක්ද'' කියලයි.
පස්සෙ බලනකොට තව බ්ලොග් සොහොයුරු සොයුරියො ඒ පිළිබඳ ලිපි පළ කරල තිබුණා ...
ඇත්තටම ජීවිතය කොයි තරම් විස්මිතද කියලා හිතුනා.
  ''පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ''

සොයුර ඔබට නිවන් සුව.

Sunday, May 1, 2011

''මුතු කරාබුව පැළඳි යුවතිය''


අද මම ලියන්න යන්නෙ මේ දවස්වල කියවමින් ඉන්න පොත පිළිබඳවයි. මේක මම මෙතෙක් කියවපු නැති රටක පොතක් ..වූ... ‘Girl With  A  Pearl Earring’.

මේක ලියල තියෙන්නෙ ට්‍රෙසි ෂෙවලියර් නැමැති කාන්තාවක්.
ලොවපුරා කියවන්නොන්ගෙ ප්‍රසාදය දිනාගෙන රටවල් තිස්පහක භාෂාවලට මේක පරිවර්තනය වෙල තිබෙනව. දාහත්වැනි ශතවර්ෂයේ නෙදර්ලන්තයේ ජීවත් වූ ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු වන ''යොහැන්නස් වර්මීර්'' ගේ චරිතය ඇසුරෙන් මේ කතාව රචිත බව සැළයි. එසේම මේ පොතේ කවරයට යොදල තියෙන්නෙත් එම චිත්‍රශිල්පියා විසින්ම අඳින සැබෑ චිත්‍රයක සේයාරුවක්. ඒ සිතුවම ගැන හිතල වෙන්න ඕන කතුවරිය සමහරවිට මේ කතාව ගොතන්න ඇත්තෙත්. මට නම් හිතෙන්නෙ එහෙමයි.
ඒ වගේම  මේ පොත ඇසුරෙන් 2004 වසරේදි නිපදවනු ලැබූ චිත්‍රපටයද අතිශයයින්ම සාර්ථක එකක් වුනාලු.
[මට නම් බලන්න හම්බවුනේ නෑ]
ට්‍රෙසි ෂෙවලියර් එම පොත ගැන මෙසේ කියනවා.







ඒක  ''මුතු කරාබුව පැළඳි යුවතිය'' යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙන්නේ ගංගා නිරොෂණී සුදුවැලිකන්ද මහත්මිය විසින්.  ඇයගෙ සමහර පරිවර්තන කෘති මීට පෙරද මා විසින් කියවා ඇති අතර කියවන්නාට දිගටම කියවාගෙන යාමට උනන්දුවක් ඇතිවන ආකාරයට රසවත්ව ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
නෙදර්ලන්තයේ ධනවත් චිත්‍රශිල්පියෙකු ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදෙන තරුණ යුවතියක වටා මෙහි කතාව ගෙතී තිබෙයි.







ප්‍රථම මුද්‍රණය 2006 වසරේදි නිකුත් කර තිබෙන අතර මිළ රුපියල් තුන්සීයකි.
හොඳ පරිවර්තනයක් .. කියවපු නැති හැමෝම කියවලා බලන්න.

ISBN  955 – 662 – 268 - 9



Tuesday, April 26, 2011

''අර්බාත් දරුවෝ''


රුසියානු සාහිත්‍යයේ එන තවත් වැදගත් පොතක් ගැන කියන්නයි යන්නෙ. අපි කියවල තියෙන හුඟක් පොත්වලින් කියවෙන්නෙ එහි පැරණි යුගය ගැන හෝ ඊලඟට පැමිණි සමාජවාදී යුගයෙ සාර්ථක භාවය පිළිබඳවනෙ.
හැබැයි මේ පොත ඊට වඩා ටිකක් විතර වෙනස්.
මෙයින් කියවෙන්නෙ එම සමාජවාදී පාලනයට එරෙහිවන නාගරික තරුණ තරුණියන්ගේ නැගී සිටීම සහ එය මැඩ පැවැත්වීමට රජය ගන්නා උත්සාහය...
අවසානයෙදි වෙන්නෙ තරුණ .. උගතුන්... බොහෝ දෙනෙකුට සයිබීරියාවට පිටුවහල් වීමට සිදුවීමයි.
එසේම සෝවියට් පාලනයේ එන තමාගේම සගයෙකු වන ''කීරොව්'' ඝාතනයෙන් පටන් ගන්නා ''ස්ටාලින්'' භීෂණය ආරම්භය ගැනත් මෙහි විස්තර වෙයි.
ඒ කාලයෙ මේ පොත මුද්‍රණය කරගැනීමටත් අපහසු වුනාලු. පසුව අර ''ගොර්බචොව්'' ගෙ ''පෙරස්ත්‍රොයිකා'' යුගයෙදි තමයි මුලින්ම එළි දක්වල තියෙන්නෙ. [ඔය ගොර්බ ගැන නම් මගෙ එතරම් පැහැදීමක් නෑ කිව්වහැකි.]
ඉතින් මේ පොතේ නම තමයි...අනතොලි රිබකොව් විසින් රචිත ‘Children of the Arbath’  කියන පොත. මේක කෙලින්ම රුසියානු භාෂාවෙ ඉඳල සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නේ පසන් කොඩිකාර මහතා විසින්.
''අර්බාත් දරුවෝ'' යන නමින්.


මේ පොත ගැන විදේශීය පුවත් පත් සහ සඟරා සඳහන් කරන්නෙ මේ විදිහටයි.



කොහොම වුණත් රුසියාවෙ අමුතු පැත්තක් ගැන කියවෙන පොතක්. කියවපු නැති අය කියවල බලන්න.


මේකෙ  ISBN   එක පහත දානව ...

ISBN   955 – 8365 – 07 - 6