Powered By Blogger

Thursday, January 5, 2012

කැපිල්ල





මම මේ ලඟකදි .. ඒ කිව්වෙ නව වසරෙ ජනවාරි පටන් ගත්ත අලුතම ... ඔබා මලයගෙ බොලොග්ගෙට ගියා ලු. ඔය බොලොග්ගෙ හොයා ගන්න බැරුව ඉන්දැද්දි දවසක් W. වර්ණා ගෙ එකට ගියපු වෙලාවක දැකල තමයි රිංගුවේ.
ඉතින් ඕකෙ තිබුණ අති විශේෂ සිගරැට් දැන්වීමක්.. පොටෝ එකකුත් එක්ක. ඔබා මලය නම් කියල තිබුණෙ ඒ පිංතූරෙ මහ සැඟවුණ රහසක් තියෙනවය කියලයි. අනේ දෙයියනේ .. මම ඒ රහස හොයපු තරමක්..  පිංතූරෙ දිහාව එක එක කෝණවල් වලිනුත් බැලුවා..ඇස් කොණින් බැලුවා.. ඇස් ඇද කරල බැලුවා..බැරිම තැන ඇස් වහගෙනත් බැලුව ඕං ... මොන පිස්සුද .. තේරෙන්නෙම නෑ .. සමහරවිට මම මෝඩ මදි හින්දද මන්දා ..
කොහොම වුනත් මට කියන්න ඕන කළේ .. ඒ පෝස්ට් එක කියවත්දි මට මතක් වුන ..ටිකක් විතර ඒ හා සමාන ම කතාවක්.
පුදුමෙ කියන්නෙ ඒ කතාවත් අපේ අර රහියට සම්බන්ධයි. මූ අහගන්න දේවල් නම් කියල වැඩක් නෑ. [හැබැයි මිනිහට තරහ ගිය පාටක් නම් පෙනුනෙ නෑ .. පහුවදා ඇවිත්  ඔය කතාව කියල ඌත් අපිත් එක්කම හොඳට හිනා වුනා]
ඔයගොල්ලො හැමෝටම වගෙ මතක ඇති අනූව දශකයෙ අගම භාගයෙ විතර කරපු අර මහා පරිමාණ ලයිට් කැපිල්ල හෙවත් විදුලිය කප්පාදුව.
ඒ කාලෙ ඔය චන්ද්‍රිකා මැඩම් තමයි රට පාලනය කොළේ .. හුඟක් මිනිස්සු එයාට තමයි බැන්නෙ ඔය ලයිට් කැපිල්ලට. අනේ  ඔන්න මං නම් බැන්නෙ නෑ. ජලාශවල වතුර නැත්තං .. ඒ මදිවට වහින්නෙ නැත්තං .. ඉතින් ..ඒ ඇත්ති මක් කොරන්නෙයි. ..කප්පාදු නොකර. කොහොමත් ඉතින් වහිනකම්ම ඉන්ට වෙනවා.
ඉතින් ඔය විදුලිය කැපිල්ල දවසකට පැය දෙකක් දක්වා දීර්ග වුනා. සමහර වෙලාවල් වලදි පැය තුනක් දක්වාත්. එක එක ප්‍රදේශවල එක එක වෙලාවල්වලටයි කැපුවෙ. උදාහරණයක් විදිහට ..එක ප්‍රදේශයක දවල් දෙකේ ඉඳන් හතර වෙනකම්. තව පැත්තක හතරෙ ඉඳන් හය වෙනකම්. තව පළාතක හයේ ඉඳන් අට වෙනකම්.. විදිහටයි. ඔය වෙලාවල් පුවත්පත්වල ප්‍රසිද්ධ කළා... මහජනයාට දැනගැනීම උදෙසා.


එක අතකින් මං දකින විදිහට ඔය විදුලි කප්පාදුව නිසා රටට යහපත් දේවලුත් ලැබුණා. මොකද හැමෝම වගෙ [කම්මැළි ම උන් හැර] උනන්දු වෙලා .. විකල්ප බල ශක්ති හෙව්වා. අපරාදෙ කියන්න බෑ මේ මං තුමාත් වැඩේට බැහැලා බැටරි වලින් නිවසට අවශ්‍ය AC  විදුලිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා. ඒ දවස්වල අපි ඔය ඉන්වර්ටර් පිළිබඳ අහලවත් නෑ. මුලදි මුලදි ඉලෙක්ට්‍රොනික් කරන අයියල ගාවට බඩගාල පීචං වෙවී තමයි ඒව ගැන වැඩි විස්තර හොයාගත්තෙ. පටන් ගැන්මෙදි අපි හදපු ඉන්වර්ටර් ඉතාම ප්‍රාථමික .. ලාමක ඒවා. හැම දේම අතින් ම කරන්න ඕන. නමුත් පස්සෙ පස්සෙ ඒව කොයිතරම් දියුණු වුනාද කීවොත් තනිකරම ස්වයංක්‍රීය ඒවා හදන්න පුලුවන් වුනා. කොටින්ම ලයිට් ගියාද.. ආවද .. කියල හොයන්නවත් බෑ. පොඩි ගැස්සීමක්වත් නෑ. දැන් නම් ඕනම ඉලොක්ට්‍රොනික් බඩු විකුණන කඩේක තියෙනව ඒවට අවශ්‍ය කරන සර්කිට් සහ බෝඩ්. ඕන කරන බඩුටික අරගෙන ගිහින් පාස්සගන්න විතරයි තියෙන්නෙ.
එහෙම වුනත් සාමාන්‍ය මහජනයා මේ ලයිට් කැපිල්ල  පිළිබඳව ටිකක් කුපිත තත්වයකයි හිටියෙ. අපේ රහියත් ඔයින් එක්කෙනෙක් රෑට .. ඒ කිව්වෙ සවස හයේ ඉඳන් අට වෙනකම් හරි .. හවස හතේ ඉඳන් නවය වෙනකම් හරි කැපිල්ලට අහුවුනාම මිනිහට මල පනිනවා [එයාට විතරක් නෙවෙයි හුඟ දෙනෙකුට එහෙමයි] ඒකට එක හේතුවක් තමයි ඔය ටෙලි නාට්‍ය පිස්සුව. දැන් වගේ ටෙලි නාට්‍ය හැට හුටාමාරක් තිබුණෙ නෑ ඒ දවස්වල. දවසකට එකක් වගේ තමයි පෙන්නුවේ.
දැන්නම් මට මතකත් නෑ කොච්චර ටෙලි තියෙනවද කියල. ඇයි දෙයියනේ දවසකට පහක් හයක් දානවනේ. මං නම් දැන් ඕව වැඩිය බලන්නෙත් නෑ. මුලු සතියෙම ඒව ගත්තොත් එකක් නැත්නම් දෙකක් තමයි හොඳ ඒව තියෙන්නෙ.
ඒ කාලෙ එහෙම නෙවෙයි .. මුලු පවුලම.. සමහරවිට අහල පහල එවුනුත් එක්ක වටවෙලා තමයි ඕව බලන්නෙ. අපරාදෙ කියන්න බෑ එතකොට හොඳ ටෙලි ටිකක් විකාශනය වුනා.
ඔය ලයිට් කැපිල්ලෙත් එක එක ක්‍රමවේද තිබුනා..අදාළ ප්‍රදෙශවල තිබුණු CEB  ඩිපෝ වල හිටපු අය අනුව ඒවා වෙනස් වුනා.
උදාහරණෙකට කීවොත් .. අපි හිතමු හවස හතට ලයිට් කපනව කියලා ..ඩිපෝ එකේ ඉන්නෙ හොඳ මිනිහෙක් නම් . හතටම කපන්නෙ නෑ.. තව ටිකක් වෙලා යවල හතයි දහයට හරි පහළොවට හරි තමයි කපන්නෙ. ආපහු දෙනකොටත් එහෙමයි ..රෑ නවයට නෙ දෙන්න ඕනෙ .. නවය වෙන්න කලින්ම දෙනවා.
හැබැයි .. ඉතින් ඩිපෝ එකේ ඉන්නෙ නපුරු මිනිහෙක් නම් තත්වෙ වෙනස් වෙනවා. ඌ හතට කලින්ම කපන අතර ආපහු දෙන්නෙ නවයත් පහු වෙලා. මේ ලෝකෙ හැම වෙලාවෙම හොඳ මිනිස්සු අඩුයි.. නපුරු මිනිස්සු වැඩියි .. ඒ හින්ද දෙවනියට කී ක්‍රමය තමා වැඩිපුරම වුනේ.
ඔය ඩිපෝ වල එවුන්ටත් බේරිල්ලක් නෑ ඉතින් .. පොඩ්ඩක් හරි ලයිට් දෙන්න පරක්කු වුනොත් සමහර මිනිස්සු ටෙලිපෝන් කර කර අහනවා.. සමහරු බණිනවා.. ඒ දවස්වල කතාවකුත් තිබුණ ඩිපෝවෙ ඉන්න අය ලයිට් කපන කාලය අතරතුර පෝන් ගලවල දානවය කියලත්. ඒකත් එක දිගටම කරන්න බැරි වුනා .. මොකද එයාලගෙ ලොකු නිලධාරියෙක් හදිසියෙ කතා කළොත් සුං. අනික සමහර වෙලාවලට දේශපාලක උන්නැහෙලත් කෝල් කරනවනෙ.
ඔය ලයිට් දෙන්න පරක්කු වුන ගමන්ම පෝන් කරල බණින එකෙක් තමයි අපෙ රහියා.
එදත් ඔය විදිහට  රහිය බණිනවලු ..ඩිපෝවෙ ඉන්න එකාට. ඌත් ටිකක් කට ගහගෙන ආවට ඉක්මනටම සරෙන්ඩර් වුනාලු. මොකද අපෙ රහිය බණින්ට තිබා ගත්තම තල් අත්තට බොරළු දාන්නැහෙ තමයි. බැණුම අහගෙන ඉන්න එකාට හිතෙන්නෙ කණ් දෙක ගලවල බිම තියන්න.
දැන් රහිය එක දිගටම විනාඩි තුන හතරක් විතර බැණගෙන බැණගෙන ගිහිල්ල.. නැවතිල හති දානවලු. දැන් ඕන්න අර පැත්තෙන් කතා කරනවලු ..'' මේ .. මහත්තය .. ඔය මහත්තය බැඳලද ..?''
දැන් රහියට ආයෙම මල පැන්නලු ..  [ඇයි ඉතින් අනවශ්‍ය ප්‍රශ්ණයක්නේ]       '' ඔව් යකෝ .. මං බැඳල තමයි .. තොට මොකටද ඒකෙ වගක්''...
එහෙනං  **තො   ලයිටුත් නැති එකේ හොඳට **ල  බුදිය ගනින්කො අපට වද නොදී .. කියල ඩිපෝවෙ එකා පෝන් එක තිබ්බලු.





5 comments:

  1. හික් හික් හික් ඒකනං ඇත්ත...

    ReplyDelete
  2. මේ පෝස්ට් එක මට මිස් වෙලා තිබ්බේ.
    [අර පින්තුරෙ තියෙන ගිනි පෙට්ටිය දිහා හොඳට බලන්න]

    ReplyDelete
  3. ලයිට් ගියාම එහෙනං ඔන්න වැඩේ! එළ

    ReplyDelete
  4. මේ රහිය අර රහියමද?..

    ReplyDelete