Powered By Blogger

Sunday, September 4, 2011

''බ්ලොග් කෙරුවාවෙන් ඉගෙනගත් අමුතු වචන''



අද මම ලියන්න යන්නෙ පොත් ගැන නෙවෙයි ..
මම මෙතෙක් කල් බ්ලොග් ලියන්නන්ගෙන් අහුලගත්තු අලුත් වචන කීපයක් ගැනයි.
මුලින්ම මම ඉගෙනගත්ත වචනය තමයි ''පට්ට'' කියන එක. ඒක ඉස්සෙල්ලම කිව්වෙ කවුද කියන එක මතක නැති වුනත් .. බයිස්කෝප් එකේ කට්ටිය තමයි නිතරම යෙදුවෙ තම තමන්ගෙ චිත්‍රපට හඳුන්වා දීම සඳහා. මුලදි මට ඕක එතරම්ම තේරුණේ නැති වුනත් .. දැන් නම් දන්නව .. ඉතාම හොඳ .. එහෙම නැත්නම් විශිෂ්ඨයි කියන අදහස කියවෙන බව.
නමුත් අපේ ගම්පළාත්වල ඕක යෙදුවෙ වෙන විදිහකටයි. ''උඹ කියන්නෙ පට්ටපල් බොරු'' වැනි යෙදුමකටයි. ඕක අසභ්‍ය වගෙ පෙනුනත් තව තැනක යෙදුවා .. ''පට්ට වේසි'' කියල.
[මේකෙ තේරුම අති විශිෂ්ඨ වේසි.. එහෙම නැත්නම් ඉතාම හොඳ වේසි ද මන්දා]
මොනව උනත් අපි ඒ වචන හොඳ පැත්තට යොදන්නෙ නෑ ... මම දන්න විදිහට. උදාහරණයක් වශයෙන් ... ''පට්ටපල් බොරු'' කියල යෙදුවට ''පට්ටපල් ඇත්ත'' කියල යොදන්නෙ නැහැනෙ. ඕකෙ මං දන්නෙ නැති මොකක් හරි රීතියක් ඇති.
නමුත් මගෙ පෞද්ගලික මතය නම් යෙදිය හැකි බවයි. උදාහරණයක් විදිහට ''අමූලික බොරු'' කියන එක ''අමූලික ඇත්ත'' කියලත් යොදන්න පුලුවන් වෙන්න ඕන.
කවුරු හරි සිංහල හොඳට දන්න කෙනෙක් මැදිහත් වෙලා පහදල දෙනවනම් මම කැමතියි.
ඊ ලඟට ඉගෙන ගත්ත වචනය තමයි .. රත්ගමයගෙ ''ඉකේයිය'' කියන එක. ඒකත් මරු වචනෙ .... හි .. හි... හුඟක් තැන්වල යොදන්න පුලුවන්.
[ හැබැයි රත්ගොමය දැන් නම් වැඩිය ඒක භාවිතා කරන්න නෑ වාගෙ.]
 ඉස්සර මම බ්ලොග් කියවත්දි එයාව හඳුනාගැනීමේ සංකේතය වුනේ .. ඔය ''ඉකේයිය'' කියන එක තමයි.
මීලඟ එක තමා අපේ ඩබ්ලිව්. සුළැඟිල්ලා මහතාගේ ''ලොල්ය'' කියන එක. ඒකත් මට මුලදි තේරුනේ නෑ.. මං හිතන විදිහට .... ආස හිතෙන / ආදරේ හිතෙන / උනන්දුව ඇතිකරන  වගේ එකක් වෙන්න ඇති. ඒකත් මරු වචනෙ. ඒකටත් මම  කැමතියි.
එතකොට අපේ කතන්දරගෙන් ඉගෙන ගත්තා .. අලුත් වචනයක්. ''මැවිසුරුවා'' කියල. ඒක මට අලුත්ම වචනයක් වුනා. ඒකෙ තේරුම නම් ඉතින් හැමෝම වාගෙ දන්නවනෙ.
ඊ ලඟට ඔය පෙරමුණේ රාළගෙ බ්ලොග් එක පැත්තෙ යන කෙනෙක් .. මට නම හරියටම මතක නෑ ... තවත් මරු වචනයක් භාවිතා කළා නිතරම. ඒ තමයි '' කුජීතයි නේද පින්වත'' කියන එක. අපි ජීවත්වෙන මේ කුජීත සමාජයෙදි හුඟක් තැන්වල කදිමට යොදන්න පුලුවන් නියම වචනයක් ඒක. ඒකටත් මම හුඟක් කැමතියි.
තව එකක් තියෙනව .. රංග මගේ ලෝකය බ්ලොග් එකෙන් ඉගෙනගත්ත.
 ඒකත් ටිකක් අමුතුයි වාගෙ පෙනුනට මම ඒකටත් කැමති වුනා. ඒ තමයි ..''ලෙසටම'' කියන එක. මුලදි මේකත් මට තේරුනෙ නෑ. එයාගෙ ලිපිය අවසානෙටම කියෙව්වට පස්සෙ තමයි තේරුනේ .. ''ලෙසටම'' කියන්නෙ යම් වැඩක් හරියටම නිවැරදිව කිරීමට කියල.  තව විදිහකට කිව්වොත් කැපවෙලා.. එහෙම නැත්නම් බැහැල කරනවා කියන්නෙ. අන්න ඒකට.
[දැනට නුපුරුදු වුනත් අපිත් පුරුදු වෙන්න ඕන ඒකම තමයි]
දැනට ඉතින් ඔය වචන ටික තමයි .. තව ඉදිරියට මොන මොන අලුත් වචන ඒවිද කියන්න බෑනෙ. ඒව ගැන එතකොට ලියමු.
මගෙ බ්ලොග් එක  වැඩි දෙනෙක් කියවන්නෙ නැති බව නම් ඇත්තයි. ඒ වුනාට අනිත් අයගෙ බ්ලොග් කියවල මම හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනව. දැනටත් ඉගෙන ගනිමිනුයි ඉන්නෙ.
මම මේ බ්ලොග් කෙරුවාවට කැමතිත් ඒ හින්දමයි.


23 comments:

  1. Sතව මොකක් හරි බ්ලොග් එකක තිබුනා එකෙන්ම කියලා වචනයක්... Sතව තිබුනා ආයෙ හෝදන්න දෙයක් නෑ කියලා....

    ReplyDelete
  2. ඒක නම් ඇත්තම කතාවක්....!මේ වචන අපිටත් එහෙම්මම පුරුදු වෙලා දැන්....!!!

    ReplyDelete
  3. ලොල්ය විතරක් නෙමේ අය්ය "හික්ය" කියලත් එයා කියනව.:)
    මමත් ගොඩක් දේවල්, වචන ඉගන ගත්තා බ්ලොග් යාලුවන්ගෙන්.

    ReplyDelete
  4. අය්ය බ්ලොග් එක ටිකක් ලස්සන කරල එහෙම ගමුකෝ බලන්න.සාහිත්‍ය මාසෙ හින්දා හොද පොත් ටිකකුත් දාමුකෝ.

    ReplyDelete
  5. ඔයත් මාර පට්ට ටිකක්නේ ඇහිද ගෙන තියෙන්නේ...

    ReplyDelete
  6. රත්ගමයගේ "කුප්ප කම" මාලිගාවෙ ගෑවිලාවත් නැද්ද මන්ද?

    ReplyDelete
  7. හරි අගෙයි....

    තව ඔයාට මුණ නොගැසුන වචන ගොඩක් තියෙනවා... භාෂාවක් දියුණු වෙන්නෙ අලුත් වචන එකතු වෙන කොට ලු. සමහරු මේවයෙ වැරද්දක් දැක්කත් , කාලෙන් කාලෙට එකතු වෙන වචන ...

    ReplyDelete
  8. ලොල් = LOL = Laugh Out Loud

    ReplyDelete
  9. පොඩ්ඩක් හොදට බැලුවොත් වචන වගේම භාශාව හසුරවන විදිහ බ්ලොග් කරුවන් විවිධයි මාරයා භාශාව හසුරවන විදිහට වඩා වෙනස් හිස් අහස ලියන සදරු ගෙ ලිවීම ඊට වඩා ගොඩක් වෙනස් සයිබර් යාය ලියන බුද්ධි ගෙ ලිවීමේ ක්‍රරමය ඔය ගැන අදය්‍යනය කිරීමත් ඉතාම රසවත්

    ReplyDelete
  10. පට්ට කියන වචනේ තනිව යෙදුනම එක අර්ථයකුත් පට්ට පල් බොරු පට්ට වේසි පට්ට කලුවර වගේ තව වචනයකුත් සමඟ යෙදෙනකොට තවත් තේරුමකුත් නේද එන්නේ.
    තනිවචනය යෙදෙන ව්‍යවහාරය අලුත්. අලුත් කිව්වට අවුරුදු හය හතකට කලින් මට ඔය වචනය මුණ ගැහිල තියනවා.
    දෙවන අවස්ථාවෙදි එහි අර්ථය වැඩි කිරීමක් උද්දීපනය කිරීමක් වගේ දෙයක් වෙන්නේ. හරියට පිරිසිදු සුපිරිසුදු වගේ.
    පට්ට පල් බොරු සහ පට්ට පල් ඇත්ත ගැන කියනව නම් කියන්න තියෙන්නේ පල් බොරු යන්නට පට්ට දාලා පට්ට පල්බොරු හැදිල තියේනනේ. අපි පල් ඇත්ත කියල කියන්නෙ නෑනෙ. ඒක නිසා පට්ට පල් ඇත්ත කියල කියන්න බෑ.
    අමූලික බොරු ගැන කියනව නම් කියන්න තියේනනෙ, අමූලික කියන්නේ මුලියක්(හේතුවක්) නැතුව කියන එක. මූලයක් නැතුව බොරුවක් කියන්න පුළුවන් වුනාට මූලයක් නැතුව ඇත්තක් කියන්න බැහැනේ. ඒ ව්‍යවහාරයත් වැරදියි.
    ලොල් කියන වචනය LOL කියන එකෙන් ආපු එකක්. LOL කියනනේ laugh of loud කියන එක කෙටියෙන් කියන විදිහ. ඒකත් asap. pto වගේ එකක්.
    ඊලියන්ද සිල්වා මැතිතුමා ලස්සන සිංහල වචන ගොඩක් හදල තියනවා. මැවිසුරුවා කියන එකත් එතුමගේ වචනයක්. එතුමා කියන දෙයක් තමයි සිංහල භාෂාවේ ක්‍රියා පද මදි කියන එක. අපි oscillation කියන වචනයට සිංහලෙන් දෝලනය කියල වචනයක් හැදවම අපිට oscillate කියන එක සිංහලෙන් කියන්න දොලනය වනවා/කරනවා වගේ තව අමතර ක්‍රියා පදයක සහය ලබාගන්න වෙනවා. එතුමා හදපු වචනය තමයි ඔසැලිය. ඒ වචන ඇතුලෙම ක්‍රියා මූලයක් අන්තර්ගතයි. එතකොට ඔසැලෙනවා ලෙස ක්‍රියා පදය තනාගන්න පුළුවන්. ඔය වගේ ලස්සන වචන ගොඩක් තියනවා. සමහර ඒව අපි අදටත් භාවිතා කරනවා. කතන්දර ඒ වගේ වචන ගොඩක් දාල තිබුනා මතකයි.
    ලෙසට කුජීත වගේ ගොඩක් වචන මුලින් භාවිතා වුනේ කොළඹ ආශ්‍රිත නාගරික සමාජයේ එක්තරා තලයක් ආශ්‍රිතව යන්න මගේ හැඟීම. ඒව ගොඩක් අතීතයේ සිටන් භාවිතා වුනත් සමාජයේ අනිත් තලයන්ට ගමන් කරන්න ගොඩක් කල් ගතවුනා. සමහර විට සිංහල blog වැනිදේ නොතිබුනානම් සමහර විට මේ වචන අදටත් ඒ ස්ථරයන්ට විතරක් ආවේණික වචන වෙන්න තිබුනා.

    ReplyDelete
  11. @ අභීත ...
    ස්තූතියි මලයා ... ඒ වුනාට අර ලොකු S අකුරක් මුලට දාන්නෙ ඇයි ...?

    ReplyDelete
  12. ඒකනම් ඇත්ත සංජු .. අපිත් දැන් සාමාන්‍ය කතා බහේදිත් ඔය වචන යොදන්න පුරුදු වෙලා.

    ReplyDelete
  13. අම්මප නදී .... මට ඔය ''හික්ය'' කියන එක අමතක වුනානේ..
    බ්ලොග් එක ලස්සන කරන්න නම් මාත් කැමතියි ... ඒ වුනාට ඔය මේකප් වැඩ ගැන මට එච්චරම පළපුරුද්දක් නෑනේ.

    ReplyDelete
  14. @ රතුමුහුද ...
    මාරම පට්ටයි මල්ලි .. මම ඔයාගෙ බ්ලොග් එක මීට කලින් දැක්ක බවක් මතක නෑ.. ගිහිල්ල බලන්න ඕන.

    ReplyDelete
  15. @ නඳුන් ..
    මට ඔය ''කුප්ප'' කියන එක අමතක වුනානෙ..
    [දාන්නම ඕන වචනයක්]
    දැන් බලනකොට මට මිස් වෙච්ච ඒවත් ගොඩක් තියෙනව වගේ....

    ReplyDelete
  16. අනේ ''වත්'' බොහොම සතුටුයි .. හුඟ කාලෙකින්නෙ ආවේ...
    සමාවෙන්න .. මටත් ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ හුඟ දවසකින් එන්න බැරි වුනා.

    ReplyDelete
  17. @.. unknown
    පැහැදිළි කළාට ස්තූතියි මල්ලියෙ.

    ReplyDelete
  18. අදහසට ස්තූතියි .. සමීර මලයා.

    ReplyDelete
  19. නියමයි කාංචන මල්ලි ..
    ඔයා විස්තරාත්මක පැහැදිළි කිරීමක් කරල තියෙනවා.
    බොහොම ස්තූතියි ඔබට.

    ReplyDelete
  20. තව මම පාවිච්චි කරන වචනයක් තියෙනවා "තනි කෑල්ලට" කියල. ඒකෙන් කියවෙන්නෙ එක සැරෙන්ම කියන අදහස :D

    ReplyDelete
  21. ස්තූතියි .. රංග මල්ලි ...
    ඒ වචනෙ ඔයාගෙ බ්ලොග් එකේ වැඩිය යොදනව මම දැකල නම් නෑ ....
    හැබැයි .. අපි නම් ඉතින් ඔය ''තනි කෑල්ල'' කියල යොදන්නෙ වෙන අරුතකින්.

    ReplyDelete
  22. රත්ගොමයා මල්ලිගේ ඔය ඉකෙයියාව ඇස් බී මහත්තයා දින 21කින්ම නැත්තට නැති කරලා දැම්මා

    ReplyDelete
  23. අපොයි ... ඇස්.බී මහත්තයා කොරල තියෙන්නෙ වස වැරැද්දක්නේ....
    ඔය ඉකේයියා ව නැත්නම් රත්ගොමයාට පැවැත්මක් නෑනේ... අනික අපි මිනිහව අඳුනගන්නෙවත් කොහොමද ...?

    ReplyDelete