Thursday, June 30, 2011

''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා''



ඔන්න ඔය ගොල්ලො කලින් කියෙව්වෙ '' පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා'' ගැනයි.
දැන් කියවන්න යන්නෙ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා'' පිළිබඳවයි. මේකෙත් මට ඇත්තටම යොදන්න  ඕන වුනේ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ තරුණයා'' කියලයි. ඒත් ඊලඟට මම කල්පනා කළා .. ඇත්තටම මම තරුණද ..? කියන එක.
 නෑ කියන එක මම  හොඳටම දන්නවනෙ. [මට දැන්පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ විතර වයසයි]  ඉතින්... ''ලැජ්ජාවට පත් වූ අන්කලයා''  ''මාමන්ඩියා''  ''ලොකු අත්තා'' වැනි යෙදුම් කීපයක් උත්සාහ කළත් ඒවා නොගැලපෙන බව පෙනී ගිය නිසා ''එකා'' කියන එකට කැමති වුනා. එකා කියන්නෙ නරක වචනයකුත් නෙවෙයිනෙ. ඉස්සර පෘතුගීසි හෝ ලන්දේසි යුගයෙත් හිටියලු ටිකක් තද පාලකයෙක් ''ඩි  එකා'' කියල. ඕකෙන්ම පේනවනෙ එකා කියන්නෙ ප්‍රසිද්ද නමක් විත්තිය.
මේක නම් මේ මටම වෙච්ච එකක්. ඔය ළමයි දන්නවනෙ .. මගෙ බ්ලොග් කටුවෙ ඔය ඉඳ හිට පොතක් ගැන පොඩි විචාරයක් දෙකක් දානවනෙ. අනේ මේ පණ්ඩිතකමට එහෙම නෙමෙයි .. නිකමට මම කියවන පොත්වලින් හිතට අල්ලපු ඒවට සරළව පොඩි විස්තරයක් තමා ලියන්නෙ.
ඒකෙන් මම බලාපොරොත්තුවෙන්නෙ තව කෙනෙක් ඒ පොත කියවීමට පෙළඹවීම කියල කිව්වොත් නිවැරදියි.
ඔය විස්තර පොජ්ජ කියවලා ඒ පොතට ආස වෙලා හොයාගෙන කියවන අය හුඟ දෙනෙක් ඇති. ඒක මට සතුටට කාරණයක්.
 සමහර අය පොත ඉල්ලන වෙලාවලුත් තියෙනවා. බ්ලොග් එකේ අය මෙන්ම එයින් බාහිර අයත්. [ගෑණු ..පිරිමි.. තරුණ.. මහලු.. කියල වෙනසක් නෑ.] මමත් ඔය හැම වෙලාවකදිම ඒක අවශ්‍ය අයට ලබා දීලත් තියෙනවා. අඩුගානෙ දෙන්න උත්සාහයක්වත් කරනවා. සමහරුන්ට මගට ගිහින් දීල තියෙන අතර සමහරුන්ට ගෙදරටම ගෙනියල දීලත් තියෙනවා. තවත් අයට මම තැපල් කරලත් තියෙනවා . තවත් කට්ටිය අපෙ ඔෆිස් එකට ඇවිත් පොත් අරගෙනත් යනවා. සමහරු පොත හොඳට කියවල ආපහු ගෙනත් දෙන අතර සමහරු පොත සමග අතුරුදහන් වෙනවා.ලෝකෙ හැටි එහෙමයි.
[අනේ මම මේ චරිත් මල්ලිට එහෙම නෙමේ කිව්වෙ.. චරිත් මල්ලි අසනීපෙන් කියල මම දන්නවනේ. සනීප වුනාම මට පොත ගෙනැවිත් දේවි ]
 ඉතින් මම මේව කරන්නෙ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි.මගෙ හිතේ සතුට උදෙසා. හිතේ සතුට සල්ලිවලට ගන්න බැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ.
ඔන්න දැන් අපි මේ ලියන එකේ මුඛ්‍ය පරමාර්ථයට හෙවත් ඇත්ත කතාවට ටික ටික ලං වෙනවා.
ඔය විදිහට පොතක පොඩි විස්තරයක් දැකපු එක ගැහ්ළමයෙක් පොත දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මාත් ඉතින් උඩ පැනගෙන [කෙල්ලෙක් ඉල්ලුවාම එහෙමනෙ] දෙන්නහ් කිව්වා. දැන් මේ ළමයා ආපහු අහනවා '' කොහොමෙයි දෙන්නෙ'' කියලා. මම ඉතින් ඒක දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක් ඈට විස්තර කෙරුවා.
 ඊට පස්සෙ ඇගෙන් කිසිම උත්තරයක් නෑ. මම සති දෙකක් විතර කට ඇරගෙන බලා හිටියා. ම්හු .. කිසිම ප්‍රතිචාරයක් නෑ. වෙනද මගෙ ලිපිවලට කමෙන්ට් එකක් හරි දාන ගෑනි දැන් ඒක දාන්නෙත් නෑ. මල මඟුලයි .. මම නරක දෙයක්වත් කීවාද ..?
 එක්කෝ මම ඇයව හමු වී පොත දිය යුතුය. නැතිනම් ඇය මාව හමුවීමට පැමිණ පොත ලබාගත යුතුය. එසේ කිරීමටත් නොහැකිනම් ඇගේ ලිපිනය [නිවැරදි] ලබා දිය යුතුය. එවිට මම එය තැපැල් කරමි.වෙන විදිහකට පොත දෙන්න මට තේරෙන්නෙත් නෑ. එහෙම නම් මම මෙහෙම කියන්න ඕන. ඔන්න අහවල් නගරයේ අහවල් ඔරලෝසු කණුව යට පොත තබා ඇත. කරුණාකර ගොස් ලබාගන්න. එහෙමද ඈ බලාපොරොත්තුවෙන්නෙ...? මා මුණගැහෙනවාට ඈ මෙතරම් අකැමැති මක් නිසාද ..? මේ අම්මන්ඩි මට බයද ..?
සමහරවිට මා වල් මිනිහෙක් කියා සිතුවා විය හැකියි. එසේ සිතුවා නම් ඇය නිවැරදිය. මා සම්පූර්ණයෙන්ම වල් මිනිහෙක්මි. හැබැයි දැන් නොවෙයි ..ඒ කාලෙ.. ඒ කිව්වෙ කොල්ල කාලෙ. දැන්නම් මම වයස නිසාවෙන් අනිවාර්යය උපාසක වෙලා සිටිමි.
ඔයින් මෙයින් සති තුනක් විතර වුනාට පස්සෙ මට නිකම් මේ .. පොඩි ලැජ්ජාවක් වගේ දෙයක් [ලැජ්ජාවම තමයි] දැනෙන්න පටන් ගත්තා. මුලදි මේක බොහොම හීනියට දැනුනෙ. පස්සෙ  එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. එහෙම වුනාම මගෙ කන් දෙපැත්ත රතු වෙන්න ගන්නවා. මම ඉතින් කලුපාටට හුරු මිනිහෙක් නේ. කලු එකෙක් රතු වුනාම දම්පාට වෙනව.ඔය ලැජ්ජාව කියන එකට පස්සෙ පස්සෙ හීනියට කේන්තිය කියන එකත් එකතු වෙනවනෙ. එතකොට එන්නෙ මහ අමුතු දම් පාටක්. දැන් මම ඉන්නෙ ඒ තත්වෙ.
මේ ළමයින්ට දැන් පැහැදිළි  වෙන්න ඇතිනෙ වෙලා තියෙන දේ.
ඉතින් ළමයිනි .. මම තීරණයක් ගත්තා ... මින් ඉදිරියට කාටවත්ම  පොත් නොදීමට.
 ඒක හොඳයි කියල ඔයගොල්ලොන්ටත් හිතෙනව නේද ..?

 






5 comments:

  1. හෙහ් හෙහ් ...හොඳ වැඩේ අයියණ්ඩියේ ..උඹට හොඳම වැඩේ... අපි ඉල්ලුවම පොත් දෙන්න බැහැ කියන කෙනා.හෙහ් හෙහ් ...

    ReplyDelete
  2. @ වත් ..
    දැන් ඔයාට තේරුනානෙ මම ටික දවසක් නොලිය හිටියෙ මොකද කියල ...

    ReplyDelete
  3. මදෑ කොරා... එක්කෙනෙන් හින්දා අනිත් හැමෝටමත් පොත් දෙන්නේ නැද්ද ආයේ?

    ReplyDelete
  4. පොතුයි ...තීන්ත පෑනයි...ගෑනියි කාටවත්ම දෙන්න එපා කියල අහල නැද්ද . දෙන්න කලින්ම කාපි යකා නේ වෙලා තියෙන්නේ. මමත් සාමාන්‍යයෙන් කවුරු හරි ඉල්ලුවම පොතක් දෙනවා . රසවත් දේ බෙදා හදා ගත යුතු නිසා . හැබැයි මතක් කරලම ආපහු ඉල්ලා ගන්නවා. මන් කන බත් එක දෙන්න පුළුවන් මට බඩගින්නේ ඉඳල . හැබැයි මගේ පොත් නම් මගේ තමයි. පව් ඉතින් ඔක්කොම මකුණෝ මරන්න එපා ඉතින් . හොඳටම විශ්වාස කෙනෙක්ට පොත් නොදී ඉන්න එක පව් නේ.

    ReplyDelete
  5. Mama nam poth denne pothaka liyagena.masayak athulata wage return kare nethnam cal karala kohomahri gannawa.nethnam poth ekathuwak thiyagena inna apita be,

    ReplyDelete