Powered By Blogger

Wednesday, April 13, 2011

''සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා''



ඔන්න දැන් ඉතින් .. හරියටම අප්‍රේල් 13 වෙනිදා රෑ 12 යි. ඒ කියන්නෙ 14 වෙනිදා එනම් අලුත් අවුරුදු දවස උදා වුනා.

හරි .. එහෙනම් ඔන්න  බ්ලොග් ලියන සහ කියවන සියලුම සහෝදර සහෝදරියන්ට ''සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා'' කියා පතනවා.
මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අපි පොඩි කාලෙ අවුරුදු සමරපු හැටි. අපිට ඒ කාලෙ අවුරුදු පටන් ගන්නෙ අප්‍රේල් 1 වෙනිද ඉඳලමයි.
දැන් කාලෙ ළමයින්ට ඒක පුදුමයක් වගේ වුණත් [මේ කාලෙ ළමුන් අප්‍රේල් 8 වෙනිද නැතිනම් 10 වෙනිද විතර වෙනකම් ඉස්කෝලෙ යනවනෙ.ඊට පස්සෙ 11 , 12 , විතර වෙනකම් පන්තිත් යනව.]
අපි නම් එහෙම නෙවෙයි ... අවුරුදු ප්‍රීතිය ඉහළින්ම භුක්ති විඳපු ළමයි.
අප්‍රේල් පළවෙනිද ලබනකම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.
ඉස්සෙල්ලම කරන දේ තමා අප්පච්චිත් එක්ක ගමේ කම්මලට යාම. එහිදී අපි සාදවා ගන්නෙ ''පටස් අච්චුව'' කියන පොඩි උපකරණයක්.
සමහර ගම් පළාත්වල මේකට ''බීරංගෙ'' කියලත් කියනව. අපි පොඩි එවුන් නිසා අපිට රතිඤ්ඤ දෙන්නෙ නෑ. අර බාන්ඩෙ තමා හදවල දෙන්නෙ. ඒකට අවශ්‍ය වෙඩි බේතුත් අපිමයි බේත් බඩු කඩෙන් ගේන්නෙ. පැරණි ඈයො දන්නව ඇතිනෙ ... අර සුදුපාට කුඩුයි කහපාට කුඩුයි [ නම් දෙක දාන්නෙ නැත්තෙ මට අමතක හින්ද එහෙම නෙමෙයි. ඔයගොල්ලොත් බේත්බඩු කඩේට ගිහින් මේව ඉල්ලල කරදර කරයි කියන බයට. අනික දැන් බේත් බඩු කඩවල ඉන්න එවුන් මේව ගැන දන්නෙත් නෑ මං හිතන්නෙ.] ගෙනත් ගෙදරදි එකට මිශ්‍ර කරල හදන වෙඩි බේත. පංකාදු පහයි. හොඳට පත්තු වෙනව.
ඔය බේතෙන් ස්වල්පයක් පටස් අච්චුව ඇතුලට දාල.. එහි තිබෙන ඇණය වසා තද දෙයක [ගලක හෝ ගසක] තදින් ගැසුවාම ලොකු වෙඩි හඬක් එනව. රාත්තල් කාලක විතර වෙඩි බේත් හදාගත්තම මාසයක් විතර පත්තු කරන්න පුලුවන්. මමයි මගෙ යාලුවොයි ඕව ගගහ ගම පුරාවට ඇවිදින එක තමයි ඉතින් වැඩේ.
අනික ඒ කාලෙ අපිට හරිම අපූරු නිදහසකුත් ලැබිල තිබුණ. පෞද්ගලික පංති ගැන හීනෙන්වත් අහල නෑ. අවුරුදු මාසෙටම පාඩම් කරපිය කියන වචනෙ ආසාවටවත් අහන්න නෑ.  කොහොමත් අපි ඉගෙනගන්න කාලෙ ඉස්කෝලෙ වැඩ.. එතකොට ඔය ගෙදර වැඩ..  වගෙ ඒවට ගෙවල්වලින් බලපෑමක් තිබ්බෙම නෑ කියල කිව්වහැකි.
අපිම උනන්දුවෙලා ගෙදරවැඩ කරගෙන ගියා. නැත්තං ඉස්කෝලෙදි අපිටමනෙ පරිප්පුව.
අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ලැබීමත් අපට සතුටට කාරණාවක්. හුඟක් වෙලාවට මට මහන ජාතියෙන්ම මගෙ යාලුවො දෙතුන්දෙනාටත් සරම් මස්සවල දෙනව අප්පච්චි. එකම පාට.. එකම ජාතියෙ සරම් පොඩි ඇඳගෙන අපි හරි ආඩම්බරෙන් තමයි ඒ දවස්වල ඉන්නෙ.  ඔය සරම් ඇඳගෙන ඔන්චිලි එහෙම පදින්න ගිහින් මරු වැඩ වෙලා තියෙනව. හිටගෙන ඒක පදිනකොට පැද්දුම් ගන්නව කියල එකක් තියෙනවනේ. ඒ කියන්නෙ තමාම ඔන්චිල්ලාව පදින වේගය වැඩිකර ගැනීම. ඉතින් ඔය පැද්දුම් ගන්න වෙලාවෙ ..[ඒ වෙලාවට බඩ ප්‍රදේශය තරමක ඇකිලෙන ගතියක් එනව] දවසක් මගෙ සරම ගැලවුනා. ඒ වගෙ වෙලාවක හරිම අමාරුවක තමයි වැටෙන්නෙ. හිටගෙන පදින නිසා සරම කෙලින්ම පහළ වලලුකර ලඟටම එනව. මළ කෙලියයි .. නැමිල සරම උස්සගන්නත් බෑ. අත්දෙක අත ඇරියොත් ඔන්චිල්ලාවෙන් වැටිල බෙල්ල කඩා ගන්නව. ඒක නවතිනකම්ම ඉන්න වෙනව ඉවසගෙන. හූව එනව ඕසෙට. බිම ඉන්න එවුනුත් හරි කපටියි. උනුත් අත දාල වේගෙ අඩු කරල නවත්තන්න උත්සාහ කරන්නෙ නෑ ඒ වගෙ වෙලාවල්වලට.
දැන්නම් මතක් වෙනකොටත් අර රත්ගමය කියන්න වාගෙ ඉකේයිය කියල හිතෙනව. ඇයි ඉතින් ඔන්චිල්ලාව පදින්න බලාගෙන කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඔතෙන්ට ඇවිල්ල ඉන්නවනෙ.
අවුරුදු දවස් ගැන තව හුඟක් දේවල් තියෙනව. ඕව ඔක්කොම ලියන්න ගියොත් අද මේක ලියල ඉවරකරන්න හම්බවෙන එකක් නෑ. කොහොම උනත් ඒ කාලෙ අපි නම් හරිම විනෝදෙන් ගත කළේ...
හැබැයි දැන් මේ නාගරික පැතිවල විතරක් නෙමේ..සමහර ගම් පලාත්වලත් ඉන්න ළමයි ගැන නම් හරි කණගාටුවකි ඇතිවෙන්නේ. ඔවුන්ට අවුරුද්ද යන්න හොඳට කාල බීල.. අලුත් ඇඳුමක් ඇඳල ඉන්න එකම එක දවසක් පමණකි.

8 comments:

  1. ඔය තියෙන්නෙ ලස්සනට ලියල... අලුත් අවුරුද්දෙ එහෙනම් සුබ නැකතටම ලියන්න පටන් ගමු තමන්ගෙ හිතට එන දේවල්..

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කුමාරයාටත්, කුමාරිටත් පවුලේ සැමටත්...

    ReplyDelete
  2. අය්යටත් ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  3. ඔයාට වැරදිල නියම අවුරුද්ද ලබන්නෙ ඔය වෙලාවට නෙමෙයි..
    වහාම අලුත් අවුරුදු ලිත බලා කියා ගත්තොත් හොදා වාගෙ

    ReplyDelete
  4. @ වත් ..
    ඔයාටත් පවුලේ අයටත් එසේම වේවා ...

    ReplyDelete
  5. ස්තූතියි නදී ...
    ඔයාටත් එලෙසම සුබ පැතුම් ..

    ReplyDelete
  6. @ indi ....
    අවුරුද්ද දවස්වල නැකත් ඉතින් එක එක විදිහට එනවා ... ඒ වුනාට මට නම් දවස උදා වුණාද ... එවෙලෙ ඉඳලම අවුරුදු තමයි ...

    ReplyDelete
  7. පොඩි කාලේ මතක් කලාට ස්තූතියි.සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  8. ස්තූතියි නදීර ..
    ඔබටත් එසේම වේවා ...

    ReplyDelete