Powered By Blogger

Tuesday, September 25, 2012

මමත් ගියෙමි .. නුඹලා ව ගන්නට ...



 
නුඹලා  වනාහි කුඩා කල සිටම මාගේ සුහද මිතුරෝ වන්නා හ. මම නුඹලා ට  බොහෝ ආදරේ කරන්නා සේම නුඹලා ත්  මටද එසේ ම ආදරේ බව මම දනිමි. කෙල්ලන්ගේ .. හෝ තරුණියන් ගේ .. එහෙමත් නැතිනම් ගැහැණුන් ගේ කසිකබල් ආදරයට වඩා එය කෙතරම් මිහිරි ද ..?
සැබෑ මිතුරියන් යැයි අප සිතාගෙන සිටින කෙළෙහිගුණ නොදත් අකෘතඥ මිතුරියක ගේ මිතුරුකමට වඩා එය මොන තරම් විශ්වාස වන්තයි ද ...?
නිතර ම හොඳ යහලුවන් සේ නුඹලා ව  ආශ්‍රය කරන්නෝ එය මැනවින් දන්නාහු ය.
නුඹලා ගෙන් කෙනෙකු  රැගෙන නුඹ තුළට ගිලා බැස්ස විට අපේ සිත්සතන් වල ඇතිවෙන සියලු දුඃඛ දෝමනස්සයන් වියැකී යයි.
යම් මිතුරෙකු ගේ හෝ මිතුරියක ගේ වෙනස්කමක් හෝ යම් අකටයුතුකමක් නිසා හෝ සිත තුවාළ වී ඇති කල් හි මෙය මාහැඟි ඔසුවක් වන බව මට ඉත්තේරුවෙන් ම කිව හැකිය.
එබඳු සිත් පෑරවීම්  නිසා දෑසේ මතුවන ලුණුරස සහිත  දියරය වළකාලීමට ද  නුඹලා උපන් හපන්කම් ඇත්තවුන්ය.
මා නුඹලා ට බෙහෙවින් ගරු කරන්නේ ත් .. ආදරය කරන්නේ ත් .. එබැවිනි. අහෝ .. මාගේ ආදරණීයයන් වූ නුඹලා  ... මට මැරෙන තුරාවටම එසේ ම සැළකුව මැන ව.
 

ඉතින් .. මේ නුඹලා කීප දෙනෙකු අලුතෙන් ලබා ගැනීම පිණිස මමත් අද B.M.I.C.H. බලා ගියෙමි. පහත පළකොට ඇත්තේ ඒවායේ සේයා රූ කීපයකි.
 

වසරේ හොඳම එක වශයෙන් නිර්දේශ වූ [2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව වූ] ''සිටුවර පුවත'' මම දැන් කියවමින් හිඳින්නෙමි. මෙය හැම ස්ටෝල් එකකම වාගේ අවසන් වී තිබුණ බැවින් .. එකක් සොයා ගත්තේ අමාරුවෙනි.
 

පෙනෙන විදිහට නම් එතරම් රසවත් භාවයක් තවම නොදැනේ. කියවා අවසන් වූ පසුව ඒ පිළිබඳව අටුවාවක් ලිවීමට අදහස් කරගෙන සිටිමි.

පසුගිය වසරවල තරම්ම සෙනගක් මා දුටුවේ නැත. මා එහි ගිය වෙලාව අනුව එසේ වූවා විය හැකියි. නමුත් විජේසූරිය මහතා ගෙ ස්ටෝල් එකේ නම් සෙනග උතුරා යන තරම්. සමහරවිට ඔහුගෙ පොත් හොඳ නිසා වෙන්නත් පුලුවෙනි.. නැතිනම් අනෙක් තැන්වල 20% අඩුකරන විට  මෙහි 30% ක් අඩුකර විකිණීම නිසා වෙන්නත් පුලුවෙනි.
 

මීට අමතරව ''සරසවි'' එකේ එතකොට ''දයාවංශ ජයකොඩි'' එකේ ත් එබඳු තත්වයක් තිබුණි.

මෙහි තවත් මාගේ සිත්ගත් තැනක් වූයේ ''ගුරු ගෙදර'' යි. පොත් කතුවරුන් හා කතුවරියන් සමග අප වැනි පාඨකයන් සම්බන්ධ කරලීම එහි අරමුණයි. අපට ඔවුන්ගෙන් විමසීමට පුලුවන් .. ඔහුගේ හෝ ඇයගේ පොත ලිවීමේදී මතු වූ ගැටලු පිළිබඳ ව සහ එය ලිවීමට හේතු වූ කාරණා ආදිය ගැන. මේ සාකච්චා ඉතාම සුහදව ගලාගෙන ගිය අතර හැමෝම එය අගය කළා.
 

මා හරියටම දන්නේ නෑ මෙවරත් ප්‍රදර්ශනය 30 වෙනිදා විතර වෙනකම් දීර්ඝ කරනවා ද යන්න පිළිබඳව. සමහරවිට එසේ නොකරන්නත් පුලුවන්. ඒ නිසා .. මම කැමතියි මෙතෙක් නොගිය උදවියගෙන් ඉල්ලා සිටීමට ... ඉක්මණින්ම ගොස් එයට සහභාගි වෙන ලෙස.


මේ තියෙන්නෙ මම ගත්ත පොත් ටික

 

 

13 comments:

  1. අපූරුයි! හ්ම්ම්..මමත් ගියා දින කිහිපයකට කලින්..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවි ...
      ඉතින් ගත්ත පොත් මොනවා ද ...?

      Delete
  2. අදින් ඉවරයි මන් හිතන්නෙ..මමත් ඊයෙ ගියා..පහු ගිය දවස් ටිකේම ගියා.. අපොයි කුමාරයාව දැක ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා නොව ඊයේ එහෙනම්...
    පොත් සහ මිතුරන් ගැන ලියලා තියෙන කතාව නම් සහතික ඇත්ත.. නමුත් හොඳ මිතුරනුත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් වෙනියො ..
      හමුවෙන්න බැරි වුනානෙ. එන බව දන්නෙ නෑ ..
      නැත්නම් මම කෝල් එකක් දෙනවා.

      Delete
    2. මගේ ඔෆිස් එක එතනම එහා පැත්තෙ නිසා මන් හැමදාම ගියා ..

      Delete
  3. මමත් ගිය බදාදා ගිහින් පොත් කීපයක් අරගත්තා. ඒ උනත් එදා හොඳටෝම සෙනඟ. සෙනඟ එක්ක පොත් තෝරනවා කියන්නෙ නම් හොඳම විහිළුවක්. මොකද අපි පොතක් ගන්න ඕනේ ටිකක් හරි කියවලා බලලනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. ඒක හරි.
      පොතක් ගන්නකොට අපි උඩින් පල්ලෙන් හරි කියවල බලන්න ඕන.

      Delete
  4. # කෙල්ලන්ගේ .. හෝ තරුණියන් ගේ .. එහෙමත් නැතිනම් ගැහැණුන් ගේ කසිකබල් ආදරයට වඩා එය කෙතරම් මිහිරි ද ..? #

    දවසේ කතාව...

    ReplyDelete
    Replies
    1. ඕක හරිහැටි වටහගන්නකොට ....
      අපි නාකිවෙලත් ඉවරයි කොල්ලො.

      Delete
  5. මමත් ගියා. ගොඩාක් පොත් ගත්තේ නම් නැහැ. සිටුවර පුවත මමත් ගත්ටා. තාම නම් කියෙව්වේ නැහැ. දෙබිඩි ළමයි දෙන්නෙක් ගැන කියවෙන අප අතනෑර සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ පොතක් තමයි කියවන්න පටන් ගත්තේ මුලින්ම.

    ReplyDelete
    Replies
    1. සිටුවර පුවත මමත් තවම කියවල ඉවර නෑ....
      කියවලා ම තමයි තීරණයකට එන්න ඕන.

      Delete
  6. ලංකාවේ නොහිටින එකේ පාඩුව දැනෙන්නේ මේ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේෂ් .....

      Delete