Monday, September 24, 2012

මගෙ සියවෙනි ලිපිය ..


අද මම ලියන්න යන්නෙ මගෙ සියවෙනි ලිපිය .. ලිපි සීයක් ලියන්න මම කල් ගත්ත හොඳටම වැඩියි කියලයි හිතෙන්නෙ. ඉදිරියෙදි මම මීට වඩා වේගවත් වෙන්න උත්සාහ කරන්න ඕන .. කියල හිතුවා.
ඉතින් මේ සියවෙනි ලිපිය විදිහට ශ්‍රී ලංකාවෙ ඓතිහාසික වැදගත් කමක් තියෙන පුරාණ පන්සලක් පිළිබඳව ලියන්න ලැබීමත් එක්තරා විදිහක සතුටක්. මේ පන්සල පිහිටා තියෙන්නෙ හික්කඩුව ප්‍රදේශයෙ ... සමහරු නම් දන්නවත් ඇති .. ඒ වගෙම ගිහිල්ල වැඳ පුදාගෙනත් ඇති.
කොළඹ සහ ගාල්ල අතර මහා මාර්ගයේ .. 58 වෙනි කිලෝමීටරය  අසළින් පිහිටි ''සැළලිහිණි''  නාමපුවරුව ලඟින් හැරී ගොඩ පැත්තට කිලෝමීටර භාගයක් ගිය තැන හමුවන්නේ තොටගමු රන්පත් මහා විහාරයයි. [ තෙල්වත්ත රජමහ විහාරය නමින් ද හැඳින්වේ ]

පන්සල් භූමිය

මහා වංශයේ මෙම ස්ථානය සඳහන් වෙන්නෙ ''තිත්ථගාම'' හෙවත් .. ''තීර්ථග්‍රාම'' යනුවෙන්.
එය දකුණු පළාතේ .. ගාලු දිස්ත්‍රික්කයේ .. හික්කඩුව ප්‍රාදේශීය සභාවට අයත්ය.
මේ පන්සල අවට තියෙන විශෙෂ ම දෙයක් තමයි එම ප්‍රදේශය තදින්ම සුනාමියට ගොදුරු වූ තැනක් වීම. ඒක අපිට මතක් වෙන අමිහිරි මතකයක්. [තෙල්වත්ත .. පෑරළිය .. වැනි වචන ඇහෙනකොට මතක්වෙනව ඇතිනෙ හැමෝටම]
එදා සමස්ත ධරණි තලයම විශ්මයට පත්කරමින් .. ''සව්සත කෙල පැමිණි ... සියල් වියතුන්ට සිළුමිණි'' යන විරුදාවලිය දිනාගත් තොටගමුවේ  ශ්‍රී රාහුල හිමිපාණන් වැඩසිටි .. එසේම ''ශ්‍රී විජයබා පිරිවෙන'' යනුවෙන්ද ලොව පුරා ප්‍රසිද්ධ වූ ස්ථානය මෙයයි.  [මෙකල වැඩිදෙනෙක් නොදන්නවා වුනත්]
එකල මෙය කොතරම් බලවත් ස්ථානයක් වූවේද යත් .. රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා මෙම ප්‍රදේශය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කළහ. එයට සාධක වශයෙන්  '' තෙල්වත්තේ අභය ස්ථානය .. වෙඩි තැබීම තහනම්''  යන ත්‍රිවිධ භාෂාවෙන් සමන්විත නාමපුවරු ගෙනහැර දැක්වීමට පුලුවන්.
[අද වනවිට ඒවායින් ඉතිරිව ඇත්තේ ..මීටියාගොඩ , කිරළගහවෙල මංසන්ධිය අසළ ඇති නාම පුවරුව පමණි]
එපමණක් නොව මේ සුදු පාලකයෝ .. 1938 දී මෙහි විහාර කටයුතු සඳහා රුපියල් 30,000 ක මුදලක් ද වෙන්කර දී තිබේ. ඒ වගෙ කාලෙක මේ මුදල කොයි තරම් විශාල මුදලක් වෙන්නට ඇති ද ...?
බුදු දහමට නිතරම බැටේ දීමට මාන බලන මේ සුද්දෝ .. ඒ  ආකාරයට කටයුතු කිරීමෙන් ම පෙනී යනවා .. මේ පන්සල ඒ කාලයේ කොතරම් බලයක් ප්‍රදේශය පුරා පතුරුවාගෙන හිටියාද කියන එක.
ඒ වගෙම තමයි .. මේ විජයබා පිරිවෙන ඒ කාලයේ පැවතිල තියෙන්නෙ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක තත්වයෙනුයි. විදේශීය සිසුන් හුඟ දෙනෙක් මෙහි ඉගෙනුම ලැබූ බවත් සඳහන්.
සාහිත්‍යය ගැන කතා කිරීමේදී ...පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය , කාව්‍යශේඛරය , වැනි කාව්‍ය රචනා ද ... පංචිකා ප්‍රදීපය , බුද්ධ ගජ්ජය , බුද්ධිප්පසාධිනී .. ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථ ද මෙහි නිර්මාණ වන්නේය.
මේ අවට ග්‍රාම නම් හැදුන විදිහත් අපූරුයි. මේ විහාර කර්මාන්තය උදෙසා හුණු ලබා ගැනීමට සිප්පි කඩා ගත් ස්ථානය .. සිප්පි-කැඩුව .. සිප්-කැඩුව ..  සිප්කඩුව .. හිප්කඩුව .. අන්තිමේදි හික්කඩුව වෙලා තියෙනව.
මේ විදිහටම මෙහි ඉගෙනුම ලැබූ දෙස් විදෙස් ශිෂ්‍යයන්ට අවශ්‍ය ආහාර පාන .. විශේෂයෙන් සහල් සහ බත සැපයූ ගම බද්දේගම ලෙසින්ද ..සීනි සැපයූ ගම සීනිගම යනුවෙන්ද .. විහාරයට අවශ්‍ය පෙරහන්කඩ සැපයීම නිසා එගම පෑරලිය වශයෙන් ද .. එදා විදුලි ආලෝකය නොමැති නිසා පිරිවෙන් භූමිය ආලෝකමත් කරගැනීමට අවශ්‍ය මී ඉටි සැපයූ ගම මීටියාගොඩ වශයෙන් ද හඳුන්වා ඇත.
රාහුල හිමියන් ගේ පිළිරුව

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳවද බොහෝ ජනප්‍රවාද තිබෙයි. රාහුල හිමියන් ව මහණ කිරීම සඳහා සොයගත් අන්දමද මින් එකකි.
වරක් තොටගමුවේ වීදාගම හිමියන් යම් උවමනාවකට ගම හරහා ඩඩිමින් සිටියහ. එසේ වඩින අතරේ එක්තරා ගමගෙදරක... ඉතා රුවැති ස්ත්‍රියක් මිදුලේ සහල් ගරමින් සිටිනු දුටහ. වීදාගම හිමියෝත් දක්ෂ කවියෙකු බැවින් .. මේ රුවැත්තිය දුටු වහාම කවි පදයක් උන්වහන්සේ ගේ මුවින් නික්මුනේ නිතැතින්ම.
''සිහින් සිනිඳු සිනිඳු  ලොලේ ...
සිහින් ඉඟට ඇඳි        සේලේ ''….
වීදාගම හිමියන් තෙවැනි පදය කීමට පෙර වත්තේ ඉඳි කඩොල්ල අසළ සැඟවී සිටි පොඩි කොලුවා කට හඬ අවදි කළාලු මෙසේ.
''සහල් ගරන කත    මිදුලේ ...
දැක මහණෙක් ලොබය   කළේ ...''
පුදුමයෙන් කොලුවා දෙස බැලූ වීදාගම හිමියන් .. ලැජ්ජාවෙන් යුතුව එතැනින් පිට මං වූයේ .. '' මහණකමට නම් අපූරු කොලු පොඩ්ඩා'' යැයි සිතමින් ලු.
පසු කලෙක  තොටගමුවේ ශ්‍රී රාහුල යන නමින් පැවිදි වූයේ එම කොලුවා ලු.
ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව ගීත කීපයකුත් රචනා වෙලා තියෙනව.
එකක් තමයි එච්.ඩබ්. රූපසිංහ මයා ගායනා කරන ''ශ්‍රී රාහුල හිමිගේ නාමේ'' ගීතය. එය ප්‍රබන්ධ කර තියෙන්නෙ එස්. මහින්ද හිමියන් විසින්.
දෙවනි එක වෙන්නෙ .. ''තොටගමුවේ ස්වාමි රාහුල .. රාහුල සිහිවේ සැමදා ..''. එය රචනා කළේ ..ආතර්.ඇම්. ද අල්විස් මහතාය. ගායනා කරන්නේ .. පී.ඇල්. ඒ. සෝමපාල මහතා විසිනි.

එතුමා විසින් සිටවනු ලැබුවා යැයි සැළකෙන පැරණි අඹගස

ඉතින් .. හැමෝම දැක බලාගෙන වැඳ පුදා ගතයුතු පූජනීය ස්ථානයක් වෙන මේ තොටගමු විහාරය ගාලු පාරෙ යන අයට ඕන නම් ගිහිල්ල බලන්න පුලුවන්.

රාහුල හිමියන් කාලයක් වාසය කළ ආවාසය

[මෙහි එන සමහර උපුටා ගැනීම් .. සීනිගම මහානාම මංගලසිරි මහතා විසින් රචිත .. තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය නැමති ග්‍රන්ථය ආශ්‍රයෙනි]

14 comments:

  1. වැදගත් තොරතුරු රැසක් ඒවගේම 100ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. පින් සිදුවේවා රාජ් ...

      Delete
  2. Replies
    1. ස්තූතියි වත් ..
      ඔබටත් පින් සිදුවේවා ...

      Delete
  3. 100 සුභ පැතුම් කුමාරයා පේන්නවත් හිටියේ නැහැ නේද පහුගිය දොහේ

    ReplyDelete
    Replies
    1. අය්යෝ .. හැංගිලා හිටියේ වර්ණා ..
      ස්තූතියි ඔබටත්...

      Delete
  4. 100 ට සුබ පැතුම්...!!!

    ඉතා වටිනා ලිපියක්....
    මම තාම එතනට ගිහින් නෑ. ඒ ක්ට්ටුවම තියෙන පංචකාපදූවටනම් ගිහින් තියෙනවා, දවසක් එහේ ඉදලත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා ..
      මම තාම ඒකට ගිහිල්ල නෑ...[දවසක ගිහින් බලන්න ඕන]
      එහි නැවතීමේ පහසුකම් තියෙනවද ...?

      Delete
    2. නෑ නෑ එහෙම පහසුකම් නෑ, මම නැවතිලා කළේ බෝඩ් වගයක් ඇන්ද එක.(ඒ දවස්වල ඩිජිටල් ප්‍රිනටින් තිබුණෙ නෑ)
      එතන පහසුකම් තියෙන්නෙ භාවනා කරන්න, වැඩිපුර එන්නෙ විදේශිකයො.පුංචි දූපතක්, බෝට්ටුවකින් යන්න ඕන. අයිතිය තියෙන්නෙ "පංචාරාමයකට" (අලුත්ගමට ටිකක් එහා).

      Delete
    3. මමත් හැබැයි ඔහොම තැනකට එක සැරයක් ගියා වාගෙ මතකයි...
      ඔබ කියන්නෙ බෙන්තර ගඟ මුහුදට වැටෙන තැන .. තියෙන පොඩි කඳු ගැටය වගෙ දූපත ද ...?
      [ඒක භාවනා මධ්‍යස්ථානයක්]

      Delete
  5. වටිනා තොරතුරු ටිකක්.
    100 වෙනි පෝස්ටුවට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිහිණි ...
      පින්සිදු වේවා ...

      Delete
  6. අපූරුයි...ලිපියට ස්තුතියි. සියයට සුභාශිංෂණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොල්ලො ...
      පින්සිද්ද වෙනවා ...

      Delete