Powered By Blogger

Sunday, March 13, 2011

ළමයින්ට විතරක් නොවෙයි ..



මම මේ කියන්න යන්නෙ ඉතාම රසවත් විදිහට කතන්දරයක් ඉදිරිපත් කරන්න පුලුවන් කතා කාරයෙක් ගැන.
මම ආසාම කරන සරළ රචනා විලාශයක් තියෙන , ඕනෑම කියවන්නෙකුට දිගටම කියවාගෙන යන්න ඉබේම පෙළඹවෙන  ගතියකින් යුතුව  කතන්දර කීම මෙතුමාගෙ විශේෂයක් වෙනවා.
ඒ තමයි ... අපි කියවන්නො හැටියට .. හැමෝම වාගෙ හඳුනන .. කුලසේන පොන්සේකා මහතා.
අපි හැමෝම දන්න විදිහට .. එතුමා නවකතා , කෙටිකතා , ළමා කතා ,පරිවර්තන .. ආදී වශයෙන් බොහෝ පොත් පත් ලියූ කෙනෙක්.
ඒ අතරින් අද මම කියන්න යන්නෙ ඉතාම හොඳ ළමා නවකතාවක් පිළිබඳවයි.
''රංසිරිගේ සංග්‍රාමය'' කිව්වම හුඟ දෙනෙක් දන්නවා ඇති කියල හිතනවා.


පළමු වරට  1989 දීත් .. දෙවනුව 1994 දීත් තෙවනුව  1998 දීත් මේ පොත මුද්‍රණය කොට තිබෙනවා.
ළමයින්ට විතරක් නොවෙයි .. ඕනෑම තරාතිරමක වැඩිහිටියෙකුට වුණත් කියවා රස විඳින්න පුලුවන් පොතක් තමයි මේක.


ළමා වියෙහිදීම තම දෙමව්පියන් හා සොයුරියගෙන් වෙන්වී නගරයට පැන යාමට සිදුවන රංසිරිට එහිදී නොයෙකුත් කරදර වලට මුහුණ දීමට සිදුවෙයි. අලුත් අත්දැකීම් බොහොමයක් සමග ජීවිතය ජය ගන්නා ඔහු අවසානයේ දී රටට ප්‍රයෝජනවත් මිනිසෙකු බවට පත්වී නැවත තම ගමට පැමිණෙයි.

මේක ඉතාම සාර්ථකව ටෙලි නාට්‍යයකට සකස් කොට ප්‍රදර්ශනය කළා .. මට මතකයි.
විශෙෂයෙන් කියන්න ඕන මේක මගෙ හිතෙත් ඒ කාලෙ තිබුණ සිහිනයක්.  ඒ කියන්නෙ ගෙදරින් පැනල යෑම.  ඒ දවස්වල අපි කොළඹින් දුර බැහැර වාසය කරපු නිසාද කොහෙද .. අපිට නගරය කියන්නෙ අමුතු සුන්දර ලෝකයක්. අඩු ගානෙ අපි එහෙමයි හිතුවෙ. අනික අපි කියවපු පොත්වල .. එතකොට බලපු චිත්‍රපටවල ඒ වගෙ චරිත තමයි වැඩිපුර තිබුණෙ.
ගමෙන් නගරයට පැනවිත් නොයෙකුත් වීර ක්‍රියා කරමින් .. හොඳට විනෝද වෙමින් .. අවසානයේ ලොකු සල්ලිකාරයෙකු වී ගමට පැමිණීම .. මගෙත් ආසාව වුනා.  
[දැන් නම් මතක්වෙනකොටත් හිනා යනව.]
පැනල යාමේ උපක්‍රම පිළිබඳව මාත් මගෙ තව මිතුරන් දෙදෙනෙකුත් අතර සාර්ථක ලෙස සාකච්චා වට කීපයක් පැවැත්වුනත් අවසානයේ වැඩේ ගැස්සිලා ගියා.
අපොයි ... මොනවද මම මේ ලියන්නෙ ...
 පොත ගැන නේ ලියාගෙන ආවෙ. ඉතින් හැමෝටම ගැලපෙන රසවත් පොතක්. ඔන්න පොත් කියවන්න කාලෙ නෑ කියන අයට සුදුසු , පැයකින් විතර කියවල ඉවරකරන්න පුලුවන් පොඩි පොතක්.


කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.
අවශ්‍ය කරන අයට ISBN අංකය පහත දානවා.
මේ ඔබා තිබෙන පිංතූර එතරම් හොඳ නෑ. මගෙ කබල් පෝන් එකේ තියෙන කැමරාවෙන්නෙ ගන්නෙ. අපැහැදිලි නම් පිංතූර මත ක්ලික් කරන්න.

ISBN  955 – 95000 – 0 - 8


6 comments:

  1. හොද පොතක් නම් නම්බර් එක ගන්න එක හොදයි...මමත් පොත් පිස්සියෙක් නේ.. තැන්කු....

    ReplyDelete
  2. ස්තූතියි නිම්ශා ....

    ReplyDelete
  3. කුලසේන ෆොන්සේකා මහත්මයාගෙ පොත් දැන් මිලදී ගන්න නැහැ නේද? පොත් කීපයක් විතරක් සරසවියෙ තියෙනව. පුළුවන් නම් එතුමගෙ "පාලම යට" නවකතාව ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න.

    පොත් ගැන මගෙත් බ්ලොග් එකක් තියෙනව. හැබැයි ඔයා තරම් මම විස්තර ලියන්නෙ නැහැ.
    http://pothakganayamak.blogspot.com/

    ReplyDelete
  4. මං හිතන්නෙ නැති වෙන්න නම් බැහැ. සමහර පොත් සාප්පුවල නැති වුණත්
    පොත් ප්‍රදර්ශන වල තියෙන්න ඕන.
    හොයල බලල මම ඔයාට කියන්නම්කො.
    මමත් කියෙව්වෙ අපෙ welfare Library එකේ තිබිල.
    ස්තූතියි කතා කළාට.
    [තවත් පොත් ගැන ලියන කෙනෙක් හමු වුනාට සතුටුයි.]

    ReplyDelete
  5. මම කුලසේන පොන්සේකා මහත්මයාගේ රචනා ශෛලියට හුඟක් කැමති කෙනෙක්.මම පොඩි කාලෙ (මතක හැටියට හතර වසරෙ විතර ඉද්දි) මුලින්ම කියෙව්වේ එතුමා ලියපු කල්ලන්දූවේ මුතු කොල්ලය කියන පොත.
    ඊට පස්සේ සෝමපුර වීරයෝ,රංසිරිගේ සංග්‍රාමය වගේ පොතුත් කියෙව්වා.

    ප/ලි අනේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින්කරන්නකෝ

    ReplyDelete
  6. @ තීර්ථ යාත්‍රිකයා...

    ඒව විතරක් නෙවෙයි .. එතුමා සමහර පරිවර්තනත් ඉතාම රසවත් විදිහට කරල තියෙනව. හැමෝටම තේරෙන විදිහට සහ මුල් පොතේ හරය වෙනස් නොවෙන විදිහටයි එය කර තිබෙන්නෙ.
    මමත් අගය කරන දෙයක් තමයි ඒක.
    අරක නම් අයින් කරන්න ටිකක් අමාරුයි කොල්ලො .. මොකද කිව්වොත් මගෙ කලින් බ්ලොග් එක කෙලවෙලා ගියා ස්පෑම් වැදිලම.

    ReplyDelete