Powered By Blogger

Friday, March 4, 2011

''මිනිසා විනාශ කළ හැකිය. නමුත් මිනිසා පරාජය කළ නොහැකිය''



විශ්ව විද්‍යාලවල සැබෑ තත්වය ගැන කියවෙන .. ඒ ගැන හොඳ දැනුමක් ලබාදෙන පොතක් මම මෑතකදී කියවීමි.
මෙය මුද්‍රණය කොට තිබෙන්නේ 2002 වසරේදි ... විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගිනුයි.
මෙය ලියා තිබෙන්නේ බොහොම අමාරුකම්වලින් යුතුව විශ්ව විද්‍යාලයක ඉගෙනීම ලබා ඉන්පසු එහිම ආචාර්ය වරයෙකු වී.. ඊටත් පසු මහාචාර්යවරයෙකු වී ... එයිනුත් නොනැවතී ඊලඟට ජේෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන සරත් විජේසූරිය මහතා විසිනි.  ඒ මහතා බොහෝ පොත් පත් ලියා තිබෙන දක්ෂ ලේඛකයෙකි.


මෙහි ලියා විස්තර කරන කාරණය සම්බන්ධයෙන් එතුමාට බොහෝ අත්දැකීම් ඇතුවාට නිසැකය.
මෙම පොත කියවාගෙන යත්දී අපේ සිරුරේ ලේ කුපිත වෙයි. ඇඟේ මාලු ගඟේ නටයි. මේ තරම් නරුමවාදී මිනිසුන් විශ්වවිද්‍යාලවල සිටිය හැක්කේදැයි සිතෙයි. මා වැනි මිනිසෙකු එහි සිටියේනම් මහාචාර්ය මහීපාලගේ හොම්බ තළනු ඇත.
[ හොඳ වෙලාවට මං එහෙ හිටියෙ නැත්තෙ]
නමුත් මේ පොතේ කතානායකයා බොහෝ ඉවසන්නෙකි. ඔහුගේ ඉවසීම සහ සංයමය අප තුල විශ්මයක් මතු කරන්නට සමත්ය.


ඔහු නිතරම මෙනෙහි කරන වදන් කීපයක් වෙයි.
''මිනිසා විනාශ කළ හැකිය. නමුත් මිනිසා පරාජය කළ නොහැකිය''
එය මෙනෙහි කරමින් ඔහු තම සටනට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙයි.
නමුත් මගේ පෞද්ගලික මතය නම් මෙහි එන කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් බවයි. එයට හේතු සාධක බොහෝ තිබෙයි.
මෙයට පාදක වූ චරිත ව්‍යංගයෙන් අඟවනවාට වඩා.... ඇත්තටම එළිදරව් කළේ නම් කැමැත්තෙමි. එවිට දුෂ්ඨයන්ව රටට හෙළි කළා නම් වෙයි. එසේම වර්තමාන විශ්ව විද්‍යාල ඇදුරන් හට පාඩමක්ද වෙයි.
මේ පොත පිළිබඳ විචාරයක් ලියන හේමරත්න ලියනාඅරච්චි මහතා මෙසේ කියයි.

බලපු නැති හැමෝම කියවල බලන්න .. පුංචි වුණත් ඉතාම හොඳ පොතක්.

අවශ්‍ය අයට  ISBN අංකය පහත සඳහන් කරමි.
ISBN  955 -652 – 105 - 4

10 comments:

  1. කාලෙකින් ඇවිත් මාලිගාව පැත්තේ..... ජීවිතේ තුටින් නේද මිතුරේ...

    පොත් බෙදා හදා ගෙන බලන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද කුමාරයෝ..

    ReplyDelete
  2. අමතක වුනා කියන්න....

    “ආදරය දැනෙන්න ජීවත් වෙන්න‘‘( පවුල් ජීවිත ගෙවන අයගේ සිත් වල ඇතුලාන්තය ගැන තමයි මේ පොත් තුනින්ම කියන්නේ )
    “ ජීවිතයට ගරු කරන්න“
    “ සිතක වෙහෙස හෙවත් ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි“
    “පුතාට ලියමි“ ( පුංචි පොතක් - ඒත් හරිම ලස්සන ඇත්ත කතාවක්)
    “අවිඳු අඳුර“
    “නිරානන්දය“

    සරත් විජේසූරිය මහතාගේ මේ පොත් මම කියවල තියනවා... ලියන විදිහ හරි සරලයි..ඒත් සිත්ගන්නා සුළුයි...

    ස්තූතියි..කුමාරයා .....

    ReplyDelete
  3. විජේසූරිය මහත්තයාගේ හා පැටියෙක් වාගේ උන්න ප්‍රාතමිකේ පොඩි එකාගේ කණ පැලෙන්න ගැහුවානේ ගුරුවරයෙක්. ඒ ගැනත් උන්දෑ ලීවා පොතක්. හොයාගෙන කියවන්න.

    ReplyDelete
  4. විශ්ව විද්‍යාල සිසුන් ගැන මිනිසුන් තුල යම් ගෞරවයක් තිබිණි නම් එය දියවී ගොස් බොහෝ කලක් විනි යැයි සිතමි. මේ පොත කියවන විට අපට රිදෙන්නේ හෝ ආවේගයක් එන්නේ එහි ඇදුරන් පිළිබඳව යම් ගෞරවයක් තවමත් හිතේ ඇති නිසා යැයි සිතමි. පොලිසිය ඇතුලු රාජ්‍ය සේවයද, පූජ්‍ය පක්ෂයද දේශපාලනයද මුලු මහත් සමාජයමද සංස්කෘතික වශයෙන් නාය ගිය සමයක විශ්ව විද්‍යාල ඇදුරන්ගෙන් පමණක් අමුතු සදාචාරයක් බලාපොරොත්තු වන්නේ ඇයි? ඔවුන්ද සමාජයේම නියැදියකි. මෙම පොතෙහි එන සමහර චරිත නියැදිය වඩා නරක පැත්තෙන් තෝරා ගෙන ඇතැයි සිතේ.
    මමද සිවු වසක් විශ්ව විද්‍යාලයක උගත්තෙමි. එහි ඇදුරු නියැදිය මගේ අද්දැකීම් වලින් නම් නොනැඹුරු නියැදියකි.

    ReplyDelete
  5. @ වත්....

    ඇත්තටම ''වත්'' මම ඉතාම සතුටින් ඉන්නේ. ස්තූතියි ඔයාට.
    පොත් බෙදාගැනීම ගැන සලකා බලන්න වෙනවා.[අපි එකිනෙකාට බොහෝ ඈතින් ජීවත් වෙන නිසා]
    ඔයාට මගෙ e mail එක එවුවා ... ඒක ලැබුණා ද ...?

    ReplyDelete
  6. නැහැ නේ...කොහෙටද එවුවෙ..කවදද එවුවේ..කාටද එවුවෙ...

    ReplyDelete
  7. @ ''වත්''
    අවිදු අඳුර සහ නිරානන්දය නම් කියවලා තියෙනවා.
    පුතා ගැන ලියපු එකනම් තවම කියවන්න හම්බ වුනේ නෑ.
    අනිත් එකත් ...
    මම දැනට නම් බොහොම සතුටින් ඉන්න ස්වාමිපුරුෂයෙක්මි. ඒ නිසා පැමිණිලි ගැන කියපු පොත ඕන වෙන එකක් නෑ.

    ReplyDelete
  8. ස්තූතියි කොලූ ...
    අර ''වත්'' කියපු පුතා ගැන පොතද දන්නෙ නෑ. හොයාගෙන කියවලා බලන්න ඕන.

    ReplyDelete
  9. @ කලිකාල ..
    සමහර සිසු සිසුවියන් සරසවියේ සිටියද .. එහි වසර කීපයක් ඉගනීම ලැබුවද .. ඇතුලාන්තයේ සිදුවන අමනකම් හා ජඩ ක්‍රියා පිළිබඳව අවබෝධයක් නොමැතිවා විය හැකිය. [ මේ ගැන අපේ බ්ලොග් මිතුරෙකුත් ලිපියක් මෑතකදී පළ කර තිබුණා මට මතකයි]
    නමුත් .. විශ්ව විද්‍යාල ඇදුරන්ගෙන් පමණක් අමුතු සදාචාරයක් බලාපොරොත්තු වන්නේ ඇයි? යන පැණයට මම එකඟ නෑ.
    මොකද .. එහි සිටින ආචාර්යවරු සහ ඉගනීම ලබා ඉන් පිටවන උගත්තු මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කොට ඒවා නිවැරදි කිරීමට යම් උත්සාහයක් ගත යුතුය යන්න මගේ අදහස වන බැවිනි.

    ReplyDelete
  10. ඇයි ..'වත්' මම ඔයාට එවුවනේ.. දැන් මාසයක් විතර ඇති.
    කමක් නෑ .. මම ආපහු එවන්නම්.

    ReplyDelete