Tuesday, January 29, 2013

ගම්පහ ගෙට්ටුවට ගිය ඇනොනිමසා - 2



 

කොහොමහරි ඉතින් ගිණිපූටකේ ... මේ ජෝඩු දෙක පස්සෙන් ගිහින් ..  පාක් එකේ දොරටුව ලඟට ආවා.
 
 

හැබැයි ඒකට ඇතුල් වුනාට පස්සෙ නම්... ෂහ් ... නිවන් ගියා වගේ. හරිම ලස්සන උද්‍යානයක්. පිච්චි පිච්චි තිබුන ඇස්ගෙඩි දෙක මතට සිහිල් දිය පොදක් වැක්කෙරුවා වාගෙයි දැනුනේ. විසල් ගස් යට හීල් හෙවන .. ඇඟේ තිබ්බ දාහ ගතිය නිකම් ම නිවිල ගියා.

ඇතුලු වෙන තැන ඉඳල තියෙන ... දෙපස තල්ගස් වලින් සැරසුන ... මාවත දුටුවම මම පුදුමයට පත් වුනා. අපේ පළාතෙ තියෙන එකෙත් [පේරාදෙණි මල්වත්ත] මේ විදිහෙම පාරක් තියෙනවා. පුදුම විදිහට සමානයි.
 
 

මම ඉතින් දැන් හරි සතුටෙන් ඇවිදගෙන යනවා ඒ පාර දිගේ. ටික දුරක් යනකොට ඔන්න ඇහෙනවා ගිඩි .. ගිඩි .. දෙමෝලෙන් වී පාහිනවා වාගේ සද්දේ. අනිවා .. අපේ එවුන් ඔතන තමයි ඇත්තේ ... මං හිතුවා. නමුත් එතෙන්ට යන්න මම ඉක්මන් වුනේ නෑ..

මොකද .. මම පළවෙනි වතාවට නෙ මේකට ආවේ. ඉතින් බලන්න දේවල් එමටයි. පුදුමාකාර විදිහට හැමතැනම නොයෙකුත් වරිගයෙ ජෝඩු.  [ මං හිතන්නෙ අහළ ගම් පහෙන් ම ආපු කට්ටිය හිටියා ]  එතකොට .. ලස්සන ලස්සන ගස් ජාති ..  සත්තු .. [ වඳුරු වරිග දෙකක් හිටියා ] මහ විශාල මල් වත්තක් නේ. මම ඇවිද ඇවිද නරඹන්න පටන් ගත්තා.
 
 
 

ඔහොම ගස් අස්සෙ ඇවිදිමින් හිටියට අපේ කට්ටියගෙ කතා බහ මට හොඳට ඇහෙනවා. [ඇයි .. පළාතටම ඇහෙන්ට ලවුස්කීපර් දාල නේ ]  ඔන්න ටික වෙලාවකින් .. ලස්සන ම ලස්සන නිවේදිකාවක් ඇවිත් මයික්‍රපෝනය තමා ගෙ සුදු අතට ගත්තා. ගස් අස්සෙ හිටපු මම ඒක දැක්කෙ නෑ තමයි .. නමුත් මට දැනෙනවා ඒක එහෙමයි කියලා.

තමාට හිමි මිහිරි කටහඬින් ඈ මෙහෙම කියනවා ..

''මේ බ්ලොග් හමුවට පැමිණි ප්‍රිය මිතුරු මිතුරියනී .. දැන් අපි තවත් යාලුවන් කීප දෙනෙකු  දැනහඳුනා ගනිමුකො ..''

මාත් ඉතින් මේ ගහ යට ඉඳන් හිතෙන් කිවා .. ඔව් .. ඔව් ... ගනිමුකො .. ගනිමුකො ...

සංවාදය මෙහෙමයි ..

මෙන්න ඉන්නවා අපේ බ්ලොග් හමුවට ආපු තවත් කෙනෙක්..

නම කියන්න කෝ ...

මම අසවලා ..

කොහෙ ඉඳල ආවේ ...

අසවල් තැන ඉඳන් ...

හරි .. දැන් අපට කියන්න බලන්න .. මේ බ්ලොග් හමුව පිළිබඳ ව ඔබගේ අදහස් ...?

නිහඬ ව සිටී. [ ඈත ඉඳන් අහගෙන ඉන්න මට මල පනී. ඇයි යකෝ උත්තර දීපියකො .. මම හිතෙන් ගෙරෙව්වා ]

හරි එහෙමනම් කියන්නකො .. ඔබට මේ අපේ හමුව ගැන දැනෙන්නෙ මොනවද ..? ඒ කියන්නෙ මොන වගෙ හැඟීමක් ද එන්නෙ ...?

මට දැන් දැනෙන්නෙ .. දැනෙන්නෙ .. ලොකු බඩගින්නක්බඩගිනි වගෙ හැඟීමක් තමයි එන්නෙ. [සබාවේ සිනා .. නමුත් නිවේදිකාව සිනා නොම සුනා .. දසන් විතරක් දක්වා නිකා හිටියාය ]

හරි .. කෑමවල පොඩි ප්‍රමාදයක් තියෙනවා .. අපේ සෑමා මහතා ඒ පිළිබඳව සොයාබැලීමට ගියා. ඉක්මනටම කෑම ලැබෙනවා ඇති.

[මේ උත්තරයට නම් මටත් ටිකක් තරහ ගියා .. මෙතෙන්දි .. මූට ''බඩගිනි'' වගෙ බාල වචනයක් නොකියා '' ලැම්බොගිනි'' වගේ ටිකක්  හරයක් තියෙන..  වටිනා වචනයක් කියන්න තිබුනනෙ .. නොදකින් විතරක් ... ]

හොඳයි කමක් නෑ .. .. මෙන්න තව එක්කෙනෙක් .. ඉන්නවා අඳුනාගන්න අපේ බ්ලොග් හමුවට ආපු.

ඔබතුමාගෙ නම කියන්නකො බලන්න. ..

මගෙ නම අසවලා ...

එහෙනම් කියන්න බලන්න ලියන බ්ලොග් එක මොකක් ද කියලා ..

අනෙ මම බ්ලොග් ලියන්නෙ නම් නෑ ...

එහෙනම් .. බ්ලොග් කියවල .. කමෙන්ට් කරනව විතර ද ..?

අනෙ මම කමෙන්ට් කරන්නෙත් නෑ ..

එහෙනම් මොන මගුලකට ද යකෝ උඹ ආවෙ ..?  වැනි පැනයක් .. නිවේදිකාව මිහිරි හඬින් අසනු ඇතැයි මා කට ඇරගෙන බලා හිටියත් .. ඇය එසේ ඇසුවේ නෑ   [ ඈ හරි කපටියි .. අනුන්ගෙ සිත් රිදවන්ට කැමති නෑ වාගෙ ...]

ඒ වෙනුවට ඇහුවෙ වෙන එකක්...

ඔබ දැන් තනියමද ආවෙ ...?

නෑ .. මම මගෙ බිරිඳයි පුතාවයි එක්කං ආවා.

ෂා .. නියමයි නේ ..ඒ කියන්නේ මේව බලල .. පුතත් ලොකු වුනාම බ්ලොග් එකක් ලියාවි නේ ...

උත්තර නැත ...

[මම ඒ වෙලාවෙ හිටියෙ පිට්ටනිය අසළ තිබුන කොණ්ඩෙ කොට ට කපපු ලස්සන කිතුල් ගසක් පොටෝ ගනිමින් .. ]
 
 

ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන්නෙ නැති වුනාම .. මට ආයෙත් තරහ ගියා. ඇයි බොලං .. කියාපියකො හයියෙන් .. පුතා තව ටිකක් ලොකු වුනාම බ්ලොග් එකක් ලියන්ට පුරුදු කරනව ය කියල. .. කොහෙද ඒවට කට නෑ ...

ඒ වෙනුවට මෙයා කිව්වෙ වෙන කතාවක්.

මට බයයි ...

ඒ පාර නම් නිවේදිකාවත් බය වුනා වාගෙ වුනා ...

ඈ බයෙන් බයෙන් අහනව .. මොනවටද ඔයා බය ...?

මේ ... මේ ... බ්ලොග් වලට ...

බ්ලොග්වල බය වෙන්න දෙයක් නෑනෙ ...

නැත්තෙ මොක ද ...?

බය වෙන්න මොනවද තියෙන්නෙ ...?

දැන් ඔය මගෙ බිරිඳ ඉන්නවනෙ ..

ඔව් .. ඔව් ... ඉතින් ..

ඉතින් .. එයා දැන් මට වඩා උනන්දුයි මේ බ්ලොග් කෙරුවාව ගැන .. නිතරම බ්ලොග් කියවනව.

ඉතින් හොඳයි නෙ...

මොන හොඳක් ද ... [බෙරි කරගත් මුහුණින් යුතුව] ලඟදිම බ්ලොගක් ලියන්ටත් පටන් ගනීවි.

ඉතින් ඒක වඩාත් හොඳයි නෙ ..

මොන හොඳක් ද ... [ඇඬුම්බර හඬකින් ..] එයා ඕකට ඇබ්බැහි වුනාම .. උයන පිහන එක .. හැලිවළං හෝදන එක .. අතුපතු ගානවැඩ .. රෙදි හෝදන එව්ව .. වගෙ ගෙදර අනික් වැඩ ඔක්කොම මගෙ කර උඩ වැටෙනව කියන එක ඔයාට තේරෙන්නෙ නෑ නේද ...?

නිවේදිකාව සමග සබාවේ සිනා...  මා අවට බංකුවල සිටි පෙම්වතුන් ගේ පෙම්වතියන්ටත් සිනා. නමුත් මම සිනා නොවෙමි. ඌ බයවීම සාධාරණ බව මට වැටහේ ...

තවත් කීපදෙනෙකු අඳුනා ගැනීමට තිබුනා වූ අවස්ථාව ගිළිහී ගියා   ... සෑමා විසින් කෑම ලොරිය රැගෙන ආ නිසා ... සුන්දර නිවේදිකා ව මෙසේ කීවාය.

දැන් ළමායි .. දෙක පහුවෙලා වුනත් තවමත් දහවල් කෑම වේලාව ගෙවී ගිහින් නැහැ ... එබැවින් ..  එය ගෙවී යාමට මත්තෙන් පැමිණ ආහාර ගන්නා ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිමි.

තව යහලුවන් හඳුනාගැනීමත් .. ක්‍රීඩාවල ඉතුරු බිතුරුත් .. විශෙෂයෙන් .. කාන්තාවන් ගේ  තොප්පි තරඟයත් .. ආහාර ගැනීමෙන් අනතුරුව සළකා බැලෙනු ඇත. ස්තූතියි...

ගිඩි ... ගිඩි .. ගිඩි .. ගිඩි .. ඔන්න සෙටප් එක කෑම කන තාලයක සංගීතයක් පටන් ගත්තා.
 
 
 

මාත් ඉතින් ගස් අස්සෙ ඉඳන් ම බඩ පොඩ්ඩක් අතගාල බැලුව කොහොම ද කියල. අපරාදෙ කියන්න බෑ .. ගල්ගෙඩිය වගෙ යස අගේට තියෙන්නෙ. බඩගිණි වත් ලැම්බොගිණි වත් පැත්ත පළාතක නෑ.

ඇයි ඉතින් .. ගෙදරින් එනකොට කැකුලු හාලෙ බත් හොඳට කොටාබාල නෙව ආවේ .. ඒ මදිවට කෝච්චියෙන් බැහැපු ගමන් අර සෝයා එකෙන් තඩි අයිස්කිරිමකුත් පත බෑවනෙ. ආයෙ කොහෙ කන්ටද ..

[ නැත්තං මම ද පුතයා .. කෑම කිව්වොත් උදුරගෙන කන්නෙ .. හැක් .. හැක් ..]

කොහොම වුනත් මේ බ්ලොග් හමුව .. හොඳට කෙරුනා .. කියල කෙටියෙන් කියන්න පුලුවන්. පසුගිය වසරෙ එකට වඩා කට්ටිය නම් පොඩ්ඩක් අඩුයි වගෙ දැනුනා තමයි.

ඒත් ලැබුවා වූ සතුටෙහි සහ විනෝදයෙහි අඩුවක් නැති බවයි මගෙ නම් හැඟීම.

[ බොලා එකිනෙකා හමුවෙමින් .. කතා බහ කරමින්.. ගී ගයමින්.. ලැබුවා වූ සතුට පසෙක සිට බලා හිඳිමින් මමත් එසේම ලැබුවා .. ඒකෙ ආයෙ දෙකක් නෑ ]

මට මේක අමුතු අත්දැකීමක් වුනා .. බ්ලොග්කරුවෙකු ගේ භූමිකාවෙන් සම්පූර්ණයෙන් ම මිදී .. පිටස්තරයෙකු ලෙස  සිටිමින් බ්ලොග් හමුවක් දෙස බැලීමේ අවස්ථාව මට ලැබුනා. ඒ වගෙම බ්ලොග් ලියන්නෙ නැති අනෙක් මිනිස්සු .. අපි දිහා බලන්නෙ කොහොමද කියන එකත් දැනගන්න ලැබුනා.

මොකද .. මම .. මෙහි ඇවිදිමින් ..  සිකුරිටි මල්ලිලා සහ අයියලා .. එතකොට ගස්වලට වතුර දාපු නංගිලා .. පිටතින් උද්‍යානය නැරඹීමට පැමිණි සාමාන්‍ය මිනිස්සු සමග කතා බහ කළා. කොටින් ම මෙහි සිටි සමහර පෙම්වතුන්ගෙ අදහස් පවා මම විමසා බැලුවා. ඔබට මතක ඇති අපේ හමුව තිබූ පිට්ටනිය වටේට ම බංකු තිබුනා. ඒ හැම බංකුවකම යුවළක් බැගිනුත් හිටියා .. අපි උදේ ඉඳන් ම කරපු කියපු දේවල් එයාල දැක්කා .. ඇහුවා .. ඉතින් මේ පිළිබඳ ඒ ගොල්ලන්ගෙ මතය දැනගන්න මට ඕන වුනා.

ඒව මෙතන ලියන්නෙ නෑ .. පස්සෙ වෙනම ලිපියක් විදිහට දාන්න බලාපොරොත්තු වෙනවා.

ප. ලි .

පොඩි නිවැරදි කිරීමක් දෙකක් කරන්න ඕන ..

පළමු ලිපියේ සඳහන් වුනා .. මේක සංවිධානය කළ ..සෑමා සහ අඩ්ව් ගුණේ යනුවෙන්. එය නිවැරදි වෙන්න ඕන සෑමා සහ පච්ච සිරා විදිහට .. 

ආහ් .. ආයෙත් වැරදුනා .. සමාවෙන්න ඕන .. සෑමා සහ සිරා ගෙ කාමරේ සිරා යනුවෙන්..

ඔහු නම් සිරාවට ම සිරා පොරක් වෙන්න ඕන.

ඒ දෙපොල හැරුනාම තවත් බොහෝ දෙනෙක් මේක සංවිධානය කරන්නට  උදව් වෙන්න ඇති. මට නම් වශයෙන් මතක නෑ .. නමුත් .. ඒ හැමෝටම මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි ..

ලබන වසරෙත් මේ විදිහට කවුරුහරි මූලිකත්වය ගෙන බ්ලොග් හමුවක් කොහෙදි හරි සංවිධානය කරාවි නේ.

ඒකෙදි අපි නැවත මුණ ගැහෙමු.
 
 
 
 
 

 

 

14 comments:

  1. කුමාරයාගෙ දොලදුක මේ ගමන නම් සංසිදවාගෙන වගේ, ගියපාරාත් පැපරාසියෙක් වෙන්න හැදුවට වැඩේ හරිගියේ නෑනෙ...

    මේක නියම අත්දැකීමක්, නියමයි....!

    ReplyDelete
    Replies
    1. නෑ මලයා ...
      මේක ප්ලෑන් කරගෙන ගිය ගමනක් නෙවෙයි ..
      එතෙන් ට ගියාම මට එහෙම හිතුනා.
      [ හැබැයි ඉතින් ඒ වෙලාවෙ මට හොඳ කැමරාවක් තිබුණ නම් ... නියම ම පැපරාසියෙක් වෙන්ට පුලුවන් වෙනවා ]

      Delete
  2. ඒ කියන්නේ මේ පාර අර අහිංසක ආසාව කොහොමින් කොහොම හරි ඉෂ්ඨ කොරගෙන.
    පුදුමයි අදුනන කවුරුවත් අයියව දැක්කේ නැති එක..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පුදුමෙ .. කවුරුවත් මාව අඳුන ගත්තෙ නෑ ...
      එක්කො .. මම කලුවෙලා කැතවෙලා ගිහිල්ල ..
      එහෙම නැත්නම් .. නාකිවෙලා කැතවෙලා ගිහින් ...

      Delete
  3. ඇයි පැත්තකට වෙලා හිටියේ?
    කට්ටිය අතරට ආවේ නැද්ද?

    මම මේ පෝස්ට් දෙකම කියෝලා ආවේ.

    ReplyDelete
    Replies
    1. කට්ටිය අස්සෙම තමයි ගැවසුනෙ .. පිට එකෙක් විදිහට...

      Delete
  4. ඇයි උබ කට්ටියට සෙට් උනේ නැත්තෙ.... හැබැයි එකත් හොදයි.. නැත්තම් වැදෙන මඩවල ඉවරෙකුත් නෑනෙ....

    ReplyDelete
    Replies
    1. පිටස්තරයෙක්ගෙ ඇහැකින් මේක දකින එකත් මරු ආතල් වැඩක් ..
      ඒකෙත් අමුතුම ගතියක් තිබුනා.

      Delete
  5. උඹත් මාර පොරක්නේ බං.. හැබැයි ඒ වැඩෙත් මාර ආතල් එකක් තියනවා තමා..

    ReplyDelete
    Replies
    1. නියම ආතල් වැඩේ ... [දවසක උඹත් කරල බලහංකො .. එතකොට තේරෙයි]

      Delete
  6. ඇත්තටම අරුන් අරවගේ දේවල් කිවුවද?

    ReplyDelete
    Replies
    1. කිව්ව ම නේන්නම් ...

      Delete
  7. පිට ඉදන් අනිත් ය කිවේ මොනවද කොහොමද ඒ අයට දැනුනේ කියලා ඉක්මනින්ම දැනගන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. හරි හරි කොල්ලො ... පොඩ්ඩක ඉඳහංකෝ ... හදිස්සි නැතුව ...

      Delete