Thursday, June 30, 2011

''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා''



ඔන්න ඔය ගොල්ලො කලින් කියෙව්වෙ '' පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා'' ගැනයි.
දැන් කියවන්න යන්නෙ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා'' පිළිබඳවයි. මේකෙත් මට ඇත්තටම යොදන්න  ඕන වුනේ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ තරුණයා'' කියලයි. ඒත් ඊලඟට මම කල්පනා කළා .. ඇත්තටම මම තරුණද ..? කියන එක.
 නෑ කියන එක මම  හොඳටම දන්නවනෙ. [මට දැන්පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ විතර වයසයි]  ඉතින්... ''ලැජ්ජාවට පත් වූ අන්කලයා''  ''මාමන්ඩියා''  ''ලොකු අත්තා'' වැනි යෙදුම් කීපයක් උත්සාහ කළත් ඒවා නොගැලපෙන බව පෙනී ගිය නිසා ''එකා'' කියන එකට කැමති වුනා. එකා කියන්නෙ නරක වචනයකුත් නෙවෙයිනෙ. ඉස්සර පෘතුගීසි හෝ ලන්දේසි යුගයෙත් හිටියලු ටිකක් තද පාලකයෙක් ''ඩි  එකා'' කියල. ඕකෙන්ම පේනවනෙ එකා කියන්නෙ ප්‍රසිද්ද නමක් විත්තිය.
මේක නම් මේ මටම වෙච්ච එකක්. ඔය ළමයි දන්නවනෙ .. මගෙ බ්ලොග් කටුවෙ ඔය ඉඳ හිට පොතක් ගැන පොඩි විචාරයක් දෙකක් දානවනෙ. අනේ මේ පණ්ඩිතකමට එහෙම නෙමෙයි .. නිකමට මම කියවන පොත්වලින් හිතට අල්ලපු ඒවට සරළව පොඩි විස්තරයක් තමා ලියන්නෙ.
ඒකෙන් මම බලාපොරොත්තුවෙන්නෙ තව කෙනෙක් ඒ පොත කියවීමට පෙළඹවීම කියල කිව්වොත් නිවැරදියි.
ඔය විස්තර පොජ්ජ කියවලා ඒ පොතට ආස වෙලා හොයාගෙන කියවන අය හුඟ දෙනෙක් ඇති. ඒක මට සතුටට කාරණයක්.
 සමහර අය පොත ඉල්ලන වෙලාවලුත් තියෙනවා. බ්ලොග් එකේ අය මෙන්ම එයින් බාහිර අයත්. [ගෑණු ..පිරිමි.. තරුණ.. මහලු.. කියල වෙනසක් නෑ.] මමත් ඔය හැම වෙලාවකදිම ඒක අවශ්‍ය අයට ලබා දීලත් තියෙනවා. අඩුගානෙ දෙන්න උත්සාහයක්වත් කරනවා. සමහරුන්ට මගට ගිහින් දීල තියෙන අතර සමහරුන්ට ගෙදරටම ගෙනියල දීලත් තියෙනවා. තවත් අයට මම තැපල් කරලත් තියෙනවා . තවත් කට්ටිය අපෙ ඔෆිස් එකට ඇවිත් පොත් අරගෙනත් යනවා. සමහරු පොත හොඳට කියවල ආපහු ගෙනත් දෙන අතර සමහරු පොත සමග අතුරුදහන් වෙනවා.ලෝකෙ හැටි එහෙමයි.
[අනේ මම මේ චරිත් මල්ලිට එහෙම නෙමේ කිව්වෙ.. චරිත් මල්ලි අසනීපෙන් කියල මම දන්නවනේ. සනීප වුනාම මට පොත ගෙනැවිත් දේවි ]
 ඉතින් මම මේව කරන්නෙ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි.මගෙ හිතේ සතුට උදෙසා. හිතේ සතුට සල්ලිවලට ගන්න බැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ.
ඔන්න දැන් අපි මේ ලියන එකේ මුඛ්‍ය පරමාර්ථයට හෙවත් ඇත්ත කතාවට ටික ටික ලං වෙනවා.
ඔය විදිහට පොතක පොඩි විස්තරයක් දැකපු එක ගැහ්ළමයෙක් පොත දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මාත් ඉතින් උඩ පැනගෙන [කෙල්ලෙක් ඉල්ලුවාම එහෙමනෙ] දෙන්නහ් කිව්වා. දැන් මේ ළමයා ආපහු අහනවා '' කොහොමෙයි දෙන්නෙ'' කියලා. මම ඉතින් ඒක දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක් ඈට විස්තර කෙරුවා.
 ඊට පස්සෙ ඇගෙන් කිසිම උත්තරයක් නෑ. මම සති දෙකක් විතර කට ඇරගෙන බලා හිටියා. ම්හු .. කිසිම ප්‍රතිචාරයක් නෑ. වෙනද මගෙ ලිපිවලට කමෙන්ට් එකක් හරි දාන ගෑනි දැන් ඒක දාන්නෙත් නෑ. මල මඟුලයි .. මම නරක දෙයක්වත් කීවාද ..?
 එක්කෝ මම ඇයව හමු වී පොත දිය යුතුය. නැතිනම් ඇය මාව හමුවීමට පැමිණ පොත ලබාගත යුතුය. එසේ කිරීමටත් නොහැකිනම් ඇගේ ලිපිනය [නිවැරදි] ලබා දිය යුතුය. එවිට මම එය තැපැල් කරමි.වෙන විදිහකට පොත දෙන්න මට තේරෙන්නෙත් නෑ. එහෙම නම් මම මෙහෙම කියන්න ඕන. ඔන්න අහවල් නගරයේ අහවල් ඔරලෝසු කණුව යට පොත තබා ඇත. කරුණාකර ගොස් ලබාගන්න. එහෙමද ඈ බලාපොරොත්තුවෙන්නෙ...? මා මුණගැහෙනවාට ඈ මෙතරම් අකැමැති මක් නිසාද ..? මේ අම්මන්ඩි මට බයද ..?
සමහරවිට මා වල් මිනිහෙක් කියා සිතුවා විය හැකියි. එසේ සිතුවා නම් ඇය නිවැරදිය. මා සම්පූර්ණයෙන්ම වල් මිනිහෙක්මි. හැබැයි දැන් නොවෙයි ..ඒ කාලෙ.. ඒ කිව්වෙ කොල්ල කාලෙ. දැන්නම් මම වයස නිසාවෙන් අනිවාර්යය උපාසක වෙලා සිටිමි.
ඔයින් මෙයින් සති තුනක් විතර වුනාට පස්සෙ මට නිකම් මේ .. පොඩි ලැජ්ජාවක් වගේ දෙයක් [ලැජ්ජාවම තමයි] දැනෙන්න පටන් ගත්තා. මුලදි මේක බොහොම හීනියට දැනුනෙ. පස්සෙ  එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. එහෙම වුනාම මගෙ කන් දෙපැත්ත රතු වෙන්න ගන්නවා. මම ඉතින් කලුපාටට හුරු මිනිහෙක් නේ. කලු එකෙක් රතු වුනාම දම්පාට වෙනව.ඔය ලැජ්ජාව කියන එකට පස්සෙ පස්සෙ හීනියට කේන්තිය කියන එකත් එකතු වෙනවනෙ. එතකොට එන්නෙ මහ අමුතු දම් පාටක්. දැන් මම ඉන්නෙ ඒ තත්වෙ.
මේ ළමයින්ට දැන් පැහැදිළි  වෙන්න ඇතිනෙ වෙලා තියෙන දේ.
ඉතින් ළමයිනි .. මම තීරණයක් ගත්තා ... මින් ඉදිරියට කාටවත්ම  පොත් නොදීමට.
 ඒක හොඳයි කියල ඔයගොල්ලොන්ටත් හිතෙනව නේද ..?

 






පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා...


මේ මාතෘකාව දැක්කම ඔයාලට මොනවද හිතෙන්නෙ. මේක දැනට බොහෝ කලකට පෙර පුවත්පතක පළ වූ සිද්දියක්. දැන් මට මතක නෑ පුවත් පත මොකක්ද කියල. නමුත් කතාව ඇත්ත.

ඔය ගොල්ලො දන්නව ඇතිනෙ... ඒ කාලෙ පොතක් ලියල ඒක අච්චු ගහ ගන්න ලේඛකයො මොන තරම් දුකක් විඳිනවද කියල. මිනිහ සල්ලිය බාගෙ අතේ නැති ආධුනිකයෙක්නම් තත්වය තවත් දරුණුයි.
පළමුව ඉතින් පොත ලියන්න ඕන. ඕකනෙ අමාරුම වැඩේ. ඊලඟට නැවත ඒක ලස්සන අකුරෙන් පිටපත් කරන්න ඕන. [තමාගෙ අකුරු කැත නම් වෙන කෙනෙකුට දීල ඒක කරවගන්න ඕන. මම දන්න විදිහට පොත් ලියන බොහෝ දෙනෙක් ඒ කාලෙ කළේ එහෙමයි.]
ඊට පස්සෙ ඒ සකස් කරගත්ත අත් පිටපත [මුල් පිටපත] අරගෙන ඒක මුද්‍රණය කරන්න කැමතිවෙන ප්‍රකාශකයෙක් හම්බවෙනකම් ඇවිදින්න ඕන. [කකුල් කඩුත්තුව හැදෙනකම්ම]
ඔය අත් පිටපත කියන නම් හැදිල තියෙන්නෙත් මං හිතන විදිහට අතේ අරන් හැමතැනම ඇවිදින හින්ද වෙන්න ඕන. කොහොම හරි ඔය මොකෙක් හරි ප්‍රකාශකයෙකුත් හම්බ වුනාය කියමුකො. ඊට පස්සෙ එතනත් ප්‍රශ්ණ. හුඟක් ප්‍රකාශකයො උත්සාහ කරන්නෙ අර ආධුනිකයාව රවටල ගසා කන්නයි. [එහෙම නැති හොඳ ප්‍රකාශකයොත් ඉන්නව තමයි. හැබැයි ඉතින් හාව හඳ දකින්නා වාගෙ . බොහෝවිට වෙන්නෙ කතාව හොඳ නෑ කියා පොත ප්‍රතික්ෂේප වීම.]
 හරි දැන් ඉතින් පොත බාර ගත්තයි කියමුකො. ඒත් ප්‍රශ්න ඉවර නෑ. දැන් කරදරේ තියෙන්නෙ පොත බාරගත්ත එකාට. ඒකෙ අකුරුවල හරි වැරදි බලන්න ඕන .. ඊට පස්සෙ අකුරු අමුණන්න ඕන ... පිටු සැකසීම .. කවර නිර්මාණය .. ආදී වශයෙන් තව වැඩ කෝටියයි. ඒ අතරෙ සැරෙන් සැරේ ලියපු එකාව ගෙන්වනව.. එක එක අඩුපාඩු සකස් කර ගන්න. අන්තිමේදි මේ පොත අච්චුගැහිල්ල හෙන ඇණයක් වෙනවා.




ඒ වුනාට දැන් කාලෙ ඒක හරි පහසුයි නේ ... නැද්ද ....
පරිගණකයක් තියෙනවනම් සිංහල අකුරු දාගෙන ලිව්ව පොත.. කොහොමද... අකුරුත් ලස්සනයි .. දෙතුන් පාරක් කියවලා තමාටම හරි වැරදි හදාගන්නත් පුලුවන්. ඊට පස්සෙ පේජ් මේකරයට දාල පිටු සැකසීමත් හොඳට කරගන්න පුලුවන්. තව ඉතින් ඔය ඩිසයින් වැඩ ටිකක් දන්නවනම් පොතේ කවරෙත් හදාගන්න පුලුවන්.
ඊට පස්සෙ පෙන් එකකට හරි නැතිනම් සී.ඩී. එකකට කොපි කරගෙන කෙලින්ම මුද්‍රණකරුවාට බාරදෙන්න වුනත් පුලුවන්.
ඉතින් .. දැන් තේරුනානෙ .. ඒ කාලෙ එහෙමයි ..මේ කාලෙ මෙහෙමයි ...
[මේ කාලෙත් අමාරුකම් ඇතිවෙන අවස්ථා නැතුවාම නොවෙයි]
ඔන්න දැන් අපි ඇත්ත කතාවට එනව. අපේ හිරබත් කෑ තරුණයාට වුනෙත් ඕකමයි.
ඔය ගොල්ලො දන්නව ඇතිනෙ 1971 අප්‍රේල් කැරැල්ල. ඕකට තරුණයො හරියට ඇදිල ගියා. නමුත් සමහරු කොහොමහරි ඒකට සම්බන්ධ වෙන්නෙ නැතුව හිටිය. අපේ මේ කතානායකයත් එහෙමයි. කැරැල්ල නිසා හැමදාම ඇඳිරි නීතිය. විශේෂයෙන් තරුණ එවුන් ඇවිදින්න ගිහාම හෙන කේස්. හැම දෙමව්පියෙක්ම උත්සාහ කළේ තම තමන්ගෙ තරුණ වියේ සිටි දූ දරුවන් පරෙස්සම් කරගැනීමට. ඉතින් සමහර තරුණයන්ට ගෙදරින් කොහෙවත් යන්න දුන්නෙ නෑ. අපේ මේ කතා නායකයටත් ඒ සන්නෑසියම තමා. ටික දවසක් ඔහොම ඉන්නකොට මිනිහට මේ ඉඳිල්ල එපා වුනා. ඇයි දෙයියනේ ඉතින් හිරේ දැම්ම වගේනේ. හැමදාම ගෙට වෙලා ඉන්න එකේ කම්මැළිකම යන්නත් එක්ක එයා ලිව්වලු නවකතාවක්. මාස දෙක තුනක් යනකොට පොත ලියලා ඉවරවුනා. මේ වෙනකොට රටේ තුබුණ වාතාවරණය ටික ටික යහපත් වේගෙන එනවා. ඔන්න අපේ මෑන් ලස්සන අකුරෙන් කතාව පිටපත් කරගෙන එහෙම යන්න ලෑස්තියි .. කොහෙද ... පොත පබ්ලිෂ් කිරීමට. දැන් තමයි මෙයා  කට්ට කන්න පටන් ගන්නෙ. මිනිහත් අනේ දවස් ගාණක් ඇවිදල ...අත් පිටපත ගෙවෙනකම්ම  පෙන්නල හිස් අතින් එනවලු. ඒත් අරින්නෙ නෑ. පහුවදත් යනව. ඔන්න එක දවසක මේ තරුණයාට හම්බ වුනා පොත අච්චුගහල විකුණන්න කැමති ප්‍රකාශකයෙක්. අපේ මිනිහට දැන් මේ වැඩේ එපාවෙලයි තිබුණෙ. ඒ නිසා ගිලෙන එකා පිදුරුගහෙත් එල්ලෙනව කිව්ව වාගෙ මුගෙ එල්ලුනා. දැන් මුදලාලිය එක එක කොන්දේසි දානව. පොත් මුලදි ප්‍රින්ට් කරන්නෙ මෙච්චරයි .. කර්තෘ භාග ගෙවන්න නම් බැරි වෙයි. ඕනම නම් පොත විකිණෙන විදිහ බලල තමයි ගෙවන්නෙ .. ආදී වශයෙන් ..
අපෙ තරුණයටත් වෙන කරන්න දෙයක් නැති හින්ද ඉතින් එකඟ වෙනව. පොත් සාප්පු කාරය කියනව මෙහෙම... එහෙනං පොත තියල යන්නකො.. තව සති දෙකකින් විතර ඇවිත් බලන්න...
අනේ අර මිනිහ සති දෙකකකින් පස්සෙ ගිහින් බලනකොටත් පොත ගහල නැති බව තමයි දැනගන්න ලැබෙන්නෙ. තව සතියකින් විතර ආයෙම යනව. මොන ... වැඩේ කෙරිල නැහැලු. ඊලඟ සැරේ ගියාම පොත් සාප්පු කාරය ටිකක් විතර තදින් කතා කරනව.  තමුසෙට පිස්සුද ඕයි .. පොඩ්ඩක් ඉන්නවකො කරල දෙනකම් .. මේකට කලින් බාරගත්ත ඒව තව කොච්චර තියෙනවද ...
 අපේ මෑන්ට තරහ ගියා වුනත් මුකුත් කිව්වෙ නෑ. කොහොමහරි වැඩේ කරගන්න ඕනනෙ. ඉවසගෙන ආපහු ගියා. දැන් මේ වැඩේට මාස හතරකුත් පහුවෙල.
දවසක් මිනිහ ඔය පොත් සාප්පු අතර නිකමට ඇවිදිමින් යන අතරෙ ..[පොත් සල්ලි දීල ගන්න බැරි වුනත් පොත් දෙස බලමින් ..අලුතෙන් ආපු පොත් මොනවද කියල හොයමින් පොත්සාප්පුවල ඇවිදින එක ඕනම පොත් කියවන්නෙක්ගෙ පුරුද්දක්නෙ. මේ මමත් ඒ විදිහයි.]  ටිකක් අලුත් විදිහෙ පොතක් දැකල නැවතුනා. ඒකෙ නම ටිකක් හුරුයි වගේ. බැලින්නම් මිනිහ ලියපු පොත .. ඒ නමමයි. දැන් එයාට හරිම හැපි .. අරූ මොනව කළත් හොඳ එකා .. පොත අච්චුගහලනෙ.. කියල හිතමින් මිනිහ කවුන්ටරේට ගිහින් අර පොතක් ඉල්ලෙගෙන පෙරළල බැලුව. නාහෙට කිට්ටු කරල පොතේ සුවඳත් බැලුව. අපි වුනත් ආසයිනේ.. අපේම පොතක් අච්චුගහල පොත් සාප්පුවල ප්‍රදර්ශනය වෙනවට. අතරින්පතර කියවලත් බැලුව .. මිනිහ ලියපු කතාවම තමයි. ආපහු පොත පෙරළන ගමන් කවරෙ දිහාව හොඳට බැලුව තමාගෙ නම මුද්‍රණය වෙලා තියෙන්නෙ කොහොමද බලන්න.අපි කවුරුත් එහෙමනෙ. පොතේ නමටත් වඩා ලස්සනට තමාගෙ නම තියෙනවටනෙ කැමති. ඉතින් එයත් හොඳට බැලුවා.  මිනිහ බිරන්තට්ටු වුනේ එතකොටයි. බැලුවම පොත ලියල තියෙන්නෙ වෙන එකෙක්. මිනිහට හොල්මන්. මගෙ පොත කොහොමද යකෝ වෙන එකෙක් ලියන්නෙ ..


මිනිහට මල පැන්නා .. ඒ පිටම යනව දැන් ප්‍රකාශකය හොයාගෙන මේකෙ තේරුම මොකක්ද කියල අහන්න. ගිහින් ඒ මිනිහගෙ ඇඟට කඩන් පැන්නා.. තමුසෙ මගෙ පොත අච්චුගැහුවට වැඩක් නෑනෙ ඕයි .. වෙන එකෙක්ගෙ නමක්නෙ දාල තියෙන්නෙ ...
දැන් ප්‍රකාශකය හරිම සන්සුන්. මොකද මේ කළබලේ .. මොකක්ද වෙලා තියෙන්නෙ...?
වෙලා තියෙන්නෙ ... වෙලා තියෙන්නෙ තමුසෙ මගෙ පොත මගෙ නම නැතුව වෙන නමක් දාල ගහල... පොත්සාප්පුවල විකුණන්නත් දාල.
ප්‍රකාශකය කළබල වුනේ නෑ. ඔහු අහනව මෙහෙම... ඒ පොත තමුසෙගෙද ..?
නැත්තං ... මම මාස හතරකට විතර කලින් ගෙනත් දීපු පොතනෙ. ඇයි මතක නැත්ද මම කීපසැරයක්ම ආව ඒ ගැන බලන්න.
තමුසෙට පිස්සුද ඕයි .. මම තමුසෙව දැක්කෙත් අදයි. මේක මම හත්වෙනියට ලියපු නවකතාව. තමුසෙ මා ගැන දන්නවනෙ. [ ඒ වෙනකොට ඒ ප්‍රකාශකය නවකතා කීපයක් ම ලියල තිබුන.]
ඔන්න අපෙ කතානායකයට දැන් සිද්දිය තේරුම් වේගෙන යනව ... තමා බොහොම මහන්සි වී ලියපු නවකතාව ප්‍රකාශක තුමා බොහොම ලේසියෙන් එයා ලියපු විදිහට අච්චුගහගෙන. [ ඒ කාලෙ  ආධුනික ලේඛකයන්ට ඔය වාගෙ වැඩ හරියට වුනා. එක්කෝ කර්තෘභාගය හරියට ගෙවන්නෙ නෑ. සමහරු මෙහෙමත් කළා ... පොත් දාහක් ගහමු කියල එකඟවෙලා .. පොත හොඳට විකිණෙනව වගේ නම් හොරෙන් තව දාහක් විතර ගහල විකුණගන්නව. ඒ අමතර ගහපු දාහ ගැන ලේඛකයට කියන්නෙ නෑ. එතකොට ඒ දාහෙ සම්පූර්ණ ලාභයම ප්‍රකාශකටයි.]
ඉතින් මේ කරුණු කාරණා ඔලුවට ගොනුවෙනකොට අපේ මෑන්ට තරහ ඉහවහ ගියා. උන්හිටිතැන් අමතක වුනාය කියන්නෙ... අන්න එහෙම වුනා. අපේ කතාවෙ ඔතනදි තමයි මහ ලොකුවට ගෝරියකුත් ගියාය කියන්නෙ. ඔය සද්දෙ ඇහිල ප්‍රකාශකගෙ ගෝල බාලයො ඇවිත් මිනිහව මෙල්ල කළා. එතකොටත් ඔය වීදුරු අල්මාරි කීපයකටයි .. මේසපුටු කීපයකටයි අලාභහානි වෙලාලු තිබුනෙ. ඔය අතරෙ ප්‍රකාශක තුමා පොලිසියට එහෙම දන්වල .. අපේ එකාව අල්ලල දුන්නලු.  මොකක්ද චෝදනාව ... ආයතනයට අලාභහානි කොට මුදල් මංකොල්ල කෑමට තැත් කිරීම. කාලා වරෙන්කො .. අපේ එකාට සාක්කි නෑ .. මුදලාලිට සාක්කි ඕන තරම්. අන්තිමේදි කරුණු කාරණා හොඳහැටි විචක්ෂණ භාවයෙන් යුතුව ගළපගත්තු අපෙ උගත් නඩුකාර හාමුදුරුවො මිනිහට මාස හයකට අච්චු කොළා. පොතක් ගහන්න ගොහින් මිනිහට අන්තිමේදි පොතත් නැතුව හිරෙත් යන්න වුනේ ඔන්න ඔහොමයි.
ඉතින් හිරෙන් නිදහස් වුන ගමන් මිනිහ දිව්වෙ කොහෙද ..ගෙදරද .. නෑ .. ඒ කාලෙ මොනවහරි වුනාම අඬාගෙන දුවන්න සිරස කියල එකකුත් තිබුණෙ නෑනෙ. ඒ හන්දා මිනිහ කෙලින්ම දිව්ව පත්තර කන්තෝරුවකට ... එයාට ඕන කළේ මේ වුන අසාධාරණය මහජනයාට දැනුම් දෙන්නයි. එතකොට ජනප්‍රිය ඉරිද පත්තර හැටියට තිබුණෙ සිලුමිණයි ..රිවිරැසයි වෙන්න ඕන. ඔය දෙකෙන් එකක තමා ඔය කතාව පළ වුනේ.
මාතෘකාව ඒකමයි. ''පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා''
ඒ කාලෙ පත්තර හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවලා බලන්න.

Monday, June 6, 2011

''සිඟන්නා''


හුඟ කලකට කලින් කියවපු පොතක් මට මේ ලඟකදි නැවතත්  කියවන්න ලැබුණා. ඒක තමයි මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියන ලද ''ශ්‍රී ලංකාවේ යාචකයා'' කියන පොත.

මෙහි පළමු මුද්‍රණය 1996 දීත් .. දෙවන මුද්‍රණය 2000 වසරේදීත් සිදුකර තිබෙයි.
එතුමා දැන් අප අතර නැතත් ... මේ කෘතිය සිඟන්නන් ගැන ලියූ විශිෂ්ඨ පර්යේෂණ ග්‍රන්ථයකි.


ලංකාවේ සිටින යාචකයන්ගේ අපූරු චර්යා රටා මෙන්ම රසවත් සිදුවීම්ද මෙහි ඇතුලත්ය.


මේ සඳහා එතුමා සැබෑවටම හිඟන්නෙක් බවට පත් වූ බව සඳහන්. අනෙකුත් සිඟන්නන් සමග අම්බලම්වල ලගිමින් ... අපිරිසිදු වැරැහැලි වූ ඇඳුම් අඳිමින් ... අනුන් විසින් දෙනුලබන ..සමහරවිට අපිරිසිදු වූ අහර ඔවුන් සමග බුදිමින්... වසර ගණනාවක් ගත කිරීම මටනම් කිසිදා කළ නොහැකි දෙයකි.


මෙසේ දැඩි කැපවීමෙන් යුතුව තම පර්යේෂණ කරන්නන් මේ කාලයේ විරලයහ. මේ කෘතිය අප අගය කළ යුත්තේ එහෙයිනි.
හැකි හැමෝම හොයාගෙන කියවලා බලන්න. අපූරු පොතක්.

ISBN   955 – 553 – 096 - 3