Tuesday, April 26, 2011

''අර්බාත් දරුවෝ''


රුසියානු සාහිත්‍යයේ එන තවත් වැදගත් පොතක් ගැන කියන්නයි යන්නෙ. අපි කියවල තියෙන හුඟක් පොත්වලින් කියවෙන්නෙ එහි පැරණි යුගය ගැන හෝ ඊලඟට පැමිණි සමාජවාදී යුගයෙ සාර්ථක භාවය පිළිබඳවනෙ.
හැබැයි මේ පොත ඊට වඩා ටිකක් විතර වෙනස්.
මෙයින් කියවෙන්නෙ එම සමාජවාදී පාලනයට එරෙහිවන නාගරික තරුණ තරුණියන්ගේ නැගී සිටීම සහ එය මැඩ පැවැත්වීමට රජය ගන්නා උත්සාහය...
අවසානයෙදි වෙන්නෙ තරුණ .. උගතුන්... බොහෝ දෙනෙකුට සයිබීරියාවට පිටුවහල් වීමට සිදුවීමයි.
එසේම සෝවියට් පාලනයේ එන තමාගේම සගයෙකු වන ''කීරොව්'' ඝාතනයෙන් පටන් ගන්නා ''ස්ටාලින්'' භීෂණය ආරම්භය ගැනත් මෙහි විස්තර වෙයි.
ඒ කාලයෙ මේ පොත මුද්‍රණය කරගැනීමටත් අපහසු වුනාලු. පසුව අර ''ගොර්බචොව්'' ගෙ ''පෙරස්ත්‍රොයිකා'' යුගයෙදි තමයි මුලින්ම එළි දක්වල තියෙන්නෙ. [ඔය ගොර්බ ගැන නම් මගෙ එතරම් පැහැදීමක් නෑ කිව්වහැකි.]
ඉතින් මේ පොතේ නම තමයි...අනතොලි රිබකොව් විසින් රචිත ‘Children of the Arbath’  කියන පොත. මේක කෙලින්ම රුසියානු භාෂාවෙ ඉඳල සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නේ පසන් කොඩිකාර මහතා විසින්.
''අර්බාත් දරුවෝ'' යන නමින්.


මේ පොත ගැන විදේශීය පුවත් පත් සහ සඟරා සඳහන් කරන්නෙ මේ විදිහටයි.



කොහොම වුණත් රුසියාවෙ අමුතු පැත්තක් ගැන කියවෙන පොතක්. කියවපු නැති අය කියවල බලන්න.


මේකෙ  ISBN   එක පහත දානව ...

ISBN   955 – 8365 – 07 - 6

Thursday, April 21, 2011



මට ලොකු  උදව්වක් ඕන ..

මෙන්න මේ චිත්‍රපට තුන හොයාගන්න පුලුවන් වේවිද ..?

අපේ බයිස්කෝප් සයිට් එකේ කවුරුහරි හෝ වෙන කෙනෙක් ලඟ හෝ තිබෙනවානම් කරුණාකර මට ලබා දෙන්න.
ලොකු උදව්වක්.

Sunday, April 17, 2011

ඔබ රුසියානු සාහිත්‍යට ප්‍රිය කරනවාද ...?



සමහර විට මම අනවශ්‍ය ප්‍රශ්ණයක් වෙන්නැති ඇහැව්වෙ. ...  මොකද කිව්වොත් පොත් පත් කියවන වෘත්තීය කියවන්නො ……. වැඩිදෙනෙක් රුසියානු සාහිත්‍යය කියවපු අයයි.
[මේකෙන් මම අදහස් කළේ සල්ලිවලට කියවන එවුන් කියන එක නෙමෙයි .. නිතරම පොත් කියවන උදවිය කියන එකයි.]
ඒ අතරෙනුත් ''මැක්සිම් ගෝර්කි'' කියන්නෙ මුලු ලොවෙහිම ප්‍රකට ගත් කතුවරයෙක්. එයාගෙ ඇත්ත නම මක්සිම් ගොර්කි නෙවෙයි. ඒක ඔහු ග්‍රන්ථකරණය සඳහා භාවිතා කළ ආරූඩ නාමය. ඇත්ත නම තමා .. ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව්. ඉපදුනේ 1868 නිෂ්නි නගරයේදියි. ඔහුගෙ ජීවිත කතාව ඔයගොල්ලො කියවල බැලුවොත් වැටහේවි .. ඔහු කුඩා කාලයෙ ඉඳල බොහෝ දුක් විඳි කෙනෙක් බව. ඔහුට 3 වන වසර දක්වා පමණි අධ්‍යාපනය ලැබීමට හැකිවී ඇත්තේ... ඉන්පසු ජීවිකාව වෙනුවෙන් රැකියාවන් කීපයක්ම කරන කුඩා මක්සිම් .. ඉගෙනීම සම්පූර්ණ කරගන්නේ සමාජය තුළින්මයි. මේ කාලයේ ඔහු බොහෝකොට කියවීමට නැඹුරු වෙනව. එසේම බොහෝ පොත්පත් කියවනව.
දැන් ඔයගොල්ලො හිතන්න එපා ඔහු බොහොම ලේසියෙන් මේක කළාය කියල. එකක් තමයි ඒ කාලයේ පොත් සොයාගැනීමට අමාරු එහෙම නැතිනම් දුර්ලභ දෙයක් වීම. අනික තමයි තවමත් කුඩා ළමයෙක් වුණත් රැකියාවත් හරියට කළයුතු වීම. සමහර පොතක් ඉල්ලා ගැනීම පිණිස ඔහු බොහෝ දුර පයින් ඇවිද්ද බව සඳහන්. එහෙම ඉගෙනගෙන තමයි ඔහු ලේඛකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වෙන්නෙ. අන්න එබඳු දක්ෂයෙකුගෙ පොතක් ගැන තමයි අද කියන්න යන්නෙ. සමහරු නම් මේක කියවලත් ඇති.
රුසියාවෙ විතරක් නෙවෙයි .. මුලු ලෝකයේම ප්‍රසිද්ධියට හා ආදරයට පාත්‍ර වුන පොතක් තමයි මේ.


                                      ඒ තමයි ''අම්මා'' කියන පොත.
සඳහන් වෙන ආකාරයට මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ඔහු ලියා තිබෙන්නෙ 1906 දි.
 සිංහල භාෂාවට පරිවර්තනය කරල තිබෙන්නෙ දැදිගම .වී. රොද්‍රිගු මහතා විසින්.
කියවපු නැති හැමෝම කියවල බලන්න .. ඉතාම හොඳ පොතක්.

ISBN   955 – 591 – 044 - 8

Wednesday, April 13, 2011

''සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා''



ඔන්න දැන් ඉතින් .. හරියටම අප්‍රේල් 13 වෙනිදා රෑ 12 යි. ඒ කියන්නෙ 14 වෙනිදා එනම් අලුත් අවුරුදු දවස උදා වුනා.

හරි .. එහෙනම් ඔන්න  බ්ලොග් ලියන සහ කියවන සියලුම සහෝදර සහෝදරියන්ට ''සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා'' කියා පතනවා.
මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අපි පොඩි කාලෙ අවුරුදු සමරපු හැටි. අපිට ඒ කාලෙ අවුරුදු පටන් ගන්නෙ අප්‍රේල් 1 වෙනිද ඉඳලමයි.
දැන් කාලෙ ළමයින්ට ඒක පුදුමයක් වගේ වුණත් [මේ කාලෙ ළමුන් අප්‍රේල් 8 වෙනිද නැතිනම් 10 වෙනිද විතර වෙනකම් ඉස්කෝලෙ යනවනෙ.ඊට පස්සෙ 11 , 12 , විතර වෙනකම් පන්තිත් යනව.]
අපි නම් එහෙම නෙවෙයි ... අවුරුදු ප්‍රීතිය ඉහළින්ම භුක්ති විඳපු ළමයි.
අප්‍රේල් පළවෙනිද ලබනකම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.
ඉස්සෙල්ලම කරන දේ තමා අප්පච්චිත් එක්ක ගමේ කම්මලට යාම. එහිදී අපි සාදවා ගන්නෙ ''පටස් අච්චුව'' කියන පොඩි උපකරණයක්.
සමහර ගම් පළාත්වල මේකට ''බීරංගෙ'' කියලත් කියනව. අපි පොඩි එවුන් නිසා අපිට රතිඤ්ඤ දෙන්නෙ නෑ. අර බාන්ඩෙ තමා හදවල දෙන්නෙ. ඒකට අවශ්‍ය වෙඩි බේතුත් අපිමයි බේත් බඩු කඩෙන් ගේන්නෙ. පැරණි ඈයො දන්නව ඇතිනෙ ... අර සුදුපාට කුඩුයි කහපාට කුඩුයි [ නම් දෙක දාන්නෙ නැත්තෙ මට අමතක හින්ද එහෙම නෙමෙයි. ඔයගොල්ලොත් බේත්බඩු කඩේට ගිහින් මේව ඉල්ලල කරදර කරයි කියන බයට. අනික දැන් බේත් බඩු කඩවල ඉන්න එවුන් මේව ගැන දන්නෙත් නෑ මං හිතන්නෙ.] ගෙනත් ගෙදරදි එකට මිශ්‍ර කරල හදන වෙඩි බේත. පංකාදු පහයි. හොඳට පත්තු වෙනව.
ඔය බේතෙන් ස්වල්පයක් පටස් අච්චුව ඇතුලට දාල.. එහි තිබෙන ඇණය වසා තද දෙයක [ගලක හෝ ගසක] තදින් ගැසුවාම ලොකු වෙඩි හඬක් එනව. රාත්තල් කාලක විතර වෙඩි බේත් හදාගත්තම මාසයක් විතර පත්තු කරන්න පුලුවන්. මමයි මගෙ යාලුවොයි ඕව ගගහ ගම පුරාවට ඇවිදින එක තමයි ඉතින් වැඩේ.
අනික ඒ කාලෙ අපිට හරිම අපූරු නිදහසකුත් ලැබිල තිබුණ. පෞද්ගලික පංති ගැන හීනෙන්වත් අහල නෑ. අවුරුදු මාසෙටම පාඩම් කරපිය කියන වචනෙ ආසාවටවත් අහන්න නෑ.  කොහොමත් අපි ඉගෙනගන්න කාලෙ ඉස්කෝලෙ වැඩ.. එතකොට ඔය ගෙදර වැඩ..  වගෙ ඒවට ගෙවල්වලින් බලපෑමක් තිබ්බෙම නෑ කියල කිව්වහැකි.
අපිම උනන්දුවෙලා ගෙදරවැඩ කරගෙන ගියා. නැත්තං ඉස්කෝලෙදි අපිටමනෙ පරිප්පුව.
අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ලැබීමත් අපට සතුටට කාරණාවක්. හුඟක් වෙලාවට මට මහන ජාතියෙන්ම මගෙ යාලුවො දෙතුන්දෙනාටත් සරම් මස්සවල දෙනව අප්පච්චි. එකම පාට.. එකම ජාතියෙ සරම් පොඩි ඇඳගෙන අපි හරි ආඩම්බරෙන් තමයි ඒ දවස්වල ඉන්නෙ.  ඔය සරම් ඇඳගෙන ඔන්චිලි එහෙම පදින්න ගිහින් මරු වැඩ වෙලා තියෙනව. හිටගෙන ඒක පදිනකොට පැද්දුම් ගන්නව කියල එකක් තියෙනවනේ. ඒ කියන්නෙ තමාම ඔන්චිල්ලාව පදින වේගය වැඩිකර ගැනීම. ඉතින් ඔය පැද්දුම් ගන්න වෙලාවෙ ..[ඒ වෙලාවට බඩ ප්‍රදේශය තරමක ඇකිලෙන ගතියක් එනව] දවසක් මගෙ සරම ගැලවුනා. ඒ වගෙ වෙලාවක හරිම අමාරුවක තමයි වැටෙන්නෙ. හිටගෙන පදින නිසා සරම කෙලින්ම පහළ වලලුකර ලඟටම එනව. මළ කෙලියයි .. නැමිල සරම උස්සගන්නත් බෑ. අත්දෙක අත ඇරියොත් ඔන්චිල්ලාවෙන් වැටිල බෙල්ල කඩා ගන්නව. ඒක නවතිනකම්ම ඉන්න වෙනව ඉවසගෙන. හූව එනව ඕසෙට. බිම ඉන්න එවුනුත් හරි කපටියි. උනුත් අත දාල වේගෙ අඩු කරල නවත්තන්න උත්සාහ කරන්නෙ නෑ ඒ වගෙ වෙලාවල්වලට.
දැන්නම් මතක් වෙනකොටත් අර රත්ගමය කියන්න වාගෙ ඉකේයිය කියල හිතෙනව. ඇයි ඉතින් ඔන්චිල්ලාව පදින්න බලාගෙන කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඔතෙන්ට ඇවිල්ල ඉන්නවනෙ.
අවුරුදු දවස් ගැන තව හුඟක් දේවල් තියෙනව. ඕව ඔක්කොම ලියන්න ගියොත් අද මේක ලියල ඉවරකරන්න හම්බවෙන එකක් නෑ. කොහොම උනත් ඒ කාලෙ අපි නම් හරිම විනෝදෙන් ගත කළේ...
හැබැයි දැන් මේ නාගරික පැතිවල විතරක් නෙමේ..සමහර ගම් පලාත්වලත් ඉන්න ළමයි ගැන නම් හරි කණගාටුවකි ඇතිවෙන්නේ. ඔවුන්ට අවුරුද්ද යන්න හොඳට කාල බීල.. අලුත් ඇඳුමක් ඇඳල ඉන්න එකම එක දවසක් පමණකි.

Monday, April 11, 2011

නින්ද


හැමෝටම නින්ද පිළිබඳ ව යම් යම් ප්‍රශ්ණ ඇති. මේ තියෙන්නෙ මගෙ යාලුවෙක් වන A.D.  මට එවපු ඊ මේල් එකක්...
කියවලා බලන්නකො ...


















අපැහැදිලි නම් පිංතූර මත ක්ලික් කරන්න.

Wednesday, April 6, 2011

පණස් එක් වෙනි ලිපිය



ඔන්න මේ දාන්නෙ පණස් එක් වෙනි ලිපිය. ලිපි පණහක් ලිව්ව කියන එක හිතාගන්නත් අමාරුයි. ඒ වුණාට ගතවෙලා තියෙන කාලය සමග සසඳන කොට ඒ ප්‍රමාණය හොඳටම මදි කියලයි මට නම් හිතෙන්නෙ.
මම මීට වඩා වේගවත් විය යුතුයි කියන තීරණයට ආවා. ඒත් අර කම්මැළිකම කියන යක්ෂයා හිටි ගමන් කඩා පාත්වෙලා බාධා කරනවනෙ.
පහුගිය දවස්වල මතක ඇති .. අපි කතා කළා .. කුලසේන පොන්සේකා මහතා ගැන.  මේතියෙන්නෙත් එතුමා ලියපු හොඳ රසවත් පොතක්.
ඒ තමයි ''පාළම යට'' කියන නව කතාව.

මේ කතාවත් ඉතාම හොඳට චරිත පෙළගස්සවල .. කියවන එකා මොකා වුණත් දිගටම කියවගෙන යන්න ආස හිතෙන විදිහට ලියල තියෙනව.
මෙහි ප්‍රථම මුද්‍රණය පිටවෙලා තියෙන්නෙ 1982 වසරෙදි. ඉන්පසු 1984... 1989 .. 1993 ..1999 .. ආදි වශයෙන් මුද්‍රණ ගණනාවක් පිට වෙලා තියෙනව. ඒකෙන්ම අපට හිතාගන්න පුලුවන් මේ නව කතාව කොයි තරම් ජනප්‍රියද කියන එක.
මේ පිළිබඳව අපේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා කෙටියෙන් මෙසේ පවසනව.


මේ කතාව පසුව චිත්‍රපටයක් වශයෙනුත් නිපදවුනා.
 1990 වසරෙ හොඳම චිත්‍රපටය ලෙසින් සරසවි ,ස්වර්ණ සංඛ , ඕසීඅයිසී .. අදී සම්මාන ගණනාවක් දිනා ගැනීමටද සමත් වුනා.
හැබැයි මේ චිත්‍රපටයෙප්‍රධාන චරිතය   ටිකක් වෙනස් වුණා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.පොත කියවනවිට අපට හැඟෙන්නෙ විලී යනු මහ දාමරික පෙනුමක් තියෙන .. මරුමුස් මිනිහෙක් කියලනෙ. විලී ගෙ චරිතය කළ සනත් කියන්නෙ සිනමාවෙ සෞම්‍ය පෙම්වතෙක්නෙ. ඉතින් ඔහු කොතරම් හොඳට මේකප් කරගෙන දරුණු එකෙක් වෙන්න හැදුවත් මහජනයාගෙ යටි හිත ඒක පිළිගන්න සූදානම් නෑ.
ඔය චරිතය විල්සන් කරු .. වගේ  මිනිහෙක් කළා නම් ප්‍රතිඵල වඩාත් හොඳට එන්න තිබුණ කියල ඔබට හිතෙන්නෙ නැද්ද ..?
අපේ රටේ ඉන්න මළඉලව් නිශ්පාදකයොන්ටයි ... අධ්‍යක්ෂකවරුන්ටයි තියෙන එක්තරා රෝගයක් තමයි ඕක. මේ වගෙ වැදගත් චරිත අර වගෙ නලුවන්ට කරන්න බැරිය කියන මතයේ පිහිටා සිටීම.
ඔබ ඔය චිත්‍රපටය නැරඹුවා නම් ... සනත් වෙනුවට විල්සන් කරු ව .. ආදේශ කරගෙන මනසින් ඒක නැවත නරඹලා බලන්න.
මොන වාගෙ වෙනසක් ද දැනෙන්නෙ ඔබට ...

අද මේ පොත ගැනම ලියන්න විශේෂ හේතුවක් තියෙනව. ඒ තමයි අපෙ බ්ලොග් සහෝදරයෙකුට මේක කියවන්නට අද හවස හතර හමාර වෙනකොට ලබා දීම. ඔහු මේ ෆිල්ම් එක බලපු කෙනෙක්.
ඉතින් පොතත් කියවලා .. මේ ගැන ඔහුගෙ අදහසුත් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනව.

ISBN  955 – 95200 – 1 - 6

Monday, April 4, 2011

සිහින බක්මහ උළෙලට මමත් ඌනපූරණයක් දානවා.



 කමෙන්ටු දාපු හැමෝටම පොදුවේ ස්තූතියි ...
මේක ඉතින් ඔයගොල්ලො බරපතල විදිහට ගන්න එපා. ඔය වගෙ දෙවල් වෙනවා.
අනික .. මේකෙ සම්පූර්ණ වැරැද්ද මගෙයි. මම තමයි හැංගිලා වගේ ඉඳල තියෙන්නෙ.
සමහරවිට අර උපන් දා ඉඳලම මට වද දෙන සබ කෝළය කියන යකා එළියට පැන්නද දන්නෙත් නෑනෙ. ඔය යකා හින්ද මට හොඳ ලස්සනම ලස්සන කෙල්ලො කී දෙනෙක් නම් අහිමි වෙලා තියෙනවද ..?
අපොයි දෙයියනේ .. මූ තාමත් මා එක්කම ඉන්න බවයි මේකෙන් පේන්නෙ.
ඔන්න ඊලඟ වතාවෙ නම් සිංහ රාජයෙක් වගේ පිරිවර මැද්දෑවටම කඩා පනිනවා .. හරිය.
මාරයා ගැන නම් කියන්න තියෙන්නෙ .. හොඳ හිතක් තියෙන හුඟක් සංවේදි කෙනෙක් කියලයි. හිත රිදුන නම් කණගාටුයි මාරයො.
ඇත්තටම මම ඔය උත්සවයට ඇවිත් හොඳට විනෝද වෙලා හිත සතුටින් තමයි ආපසු ගියෙ.
 වෙන්න ඕනෙත් ඒකමනේ.

Sunday, April 3, 2011

සිහින අවුරුදු උත්සවය



ඔන්න මමත් ඉතින් අද සිහින අවුරුදු උත්සවය බලන්න ගියානෙ.
 යන ගමන්ම මගෙ තව යාලුවෙකුට උදව්වක් කරගෙනම යන්න වුණා.
 [ එයා මගෙත් එක්ක මේ උත්සවයට එන්න පොරොන්දු වෙලයි හිටියෙ.]
නමුත් එයාට පොඩි කරදරයක් වුණ නිසා එන්න වුනේ නෑ.
ඉතින් ඒකත් බලාගෙනම එන්න සිදුවුන නිසා මමත් අවුරුදු උත්සවයට එනකොට පරක්කුයි.
එනකොටම ගේට්ටුව ගාවදිම හම්බවුනේ කවුද ... බොලේ අපේ මාරයා ...
එතකොටම මාරයා ගේ කටට එන වචනයක් තියෙනව. ඒ තමයි '' මාරයාට කු..මාරයා හමුවූවා'' කියන එක.
එයා මුලින්ම ඇහුවෙ මොකද පරක්කු කියන එකයි. මම ඉතින් කාරණාව විස්තර කළා ...
මාරයා තව යාලුවෙක් එනකම් බලාගෙන ඉන්න අතරෙ මම උත්සවයට ගියා.
ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව.
ඒ වුනාට කමක් නෑනෙ .. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...
බොහෝ දෙනෙක් පැමිණ සිටියා වුනත් .. සමහරු සුහදශීලි සිනා පෑවත් .. මටනම් ඇත්තටම ඔවුන් අඳුනාගන්න අපහසුයි.
එදා  SBU  එකට ආපු අය වුණත් මට නුහුරුයි වගේ. මේ මිනිස්සු වෙනස් වෙලා මට පේනව වත්ද ..? මම නැවතත් හොඳින් සෙනග පීරලා බැල්මක් දාලා බැලුවා.. දන්න අය ඉන්නවද කියලා.  අඩුගානෙ ''සොඳුරු සිත'' වත් පේන්න ඉන්නවද කියල. ම්හු ..
 යාන්තම් '' නීනු'' ව දැක ගන්න හම්බවුනා. කතාකරන්න නම් හම්බවුනේ නෑ.
ටික වෙලාවකට පස්සෙ ඔන්න ''දුකා'' ආවා. එයාව නම් දන්නවා. මුණගැහිල එහෙම නෙවෙයි. බ්ලොග් පිංතූරෙ හැටියට ඔහු තමාගෙ සැබෑ පිංතූරෙනෙ දාල තියෙන්නෙ.
ඔහුට කතා කරන්න මම ආසාවෙන් හිටියත් හැමවිටම ඔහුලඟ සෙනඟ ... නැතිනම් තරඟ සංවිධානයෙ යෙදෙමින්. හරිම බිසි.
මම මේ පහළින් දාල තියෙන පොටෝ එකේ දකුණු පැත්තට බරව කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ ''දුකා''. පින්තූරෙ නම් ටිකක් අපහැදිලි ඇති. මොකද මේක පෝන් එකක තියෙන දුර්වල කැමරා කාචයකින් ගත්ත නිසා.
ඔහුට කතා කරන්න බැරි වුනාට දුකෙන් බලාගෙන ඉන්න මාව ඔයගොල්ලොන්ට පේන්නෙ නෑ. ඒ මම ඉන්නෙ කැමරාවට පිටුපසින් නිසා.

මම හඳුනන එකම මිනිහා වන මාරයා ව කීපවිටකදි ම දුටුවත් .. මම ඔහු ලඟට වැඩිය යන්න උත්සාහ කළේ නෑ. එකක් තමයි .. එල්ලි එල්ලි කතාවට එනවට ඔහු අකමැති බව මම දැනසිටීම.
අනික තමයි මාරයා සමග වාසය බයානක දෙයක් වීම.  අපි හැමෝම මාරයා ගෙන් බේරෙන්නනෙ උත්සාහ කරන්නෙ.
හැබැයි ඒ බව වටහා නොගත්තු බුවාල කීපදෙනෙක්ම මාරයා සමග එල්ලිලා ඉන්නව දුටුවා... උන්දලට තේරේවි පස්සෙ.
කොහොම වුනත් උත්සවය හොඳට ගියා. මමත් හුදෙකලාවම වුනත් සතුටු වුනා. මේ වගෙ උත්සව වසරකට වරක්වත් පවත්වන එක හොඳ දෙයක්.
මේකෙ සංවිධායක මහත්වරුන්ව මම පුද්ගලිකව හඳුනන්නෙ නැති වුනත් ඒ ගොල්ලොන්ට ස්තූති කරන්න කැමතියි.